කතා නායකයා -
පනඩියා (Sanjaya Iddamalgoda) යනු වචනයේ
පරිසමාප්ත අර්ථයෙන්ම මීටරයකි. බැච් එකේ බ්‍රයිටාය. තවද විටෙක ඔහුම කියූ පරිදි බැච්
එකේ හැන්ඩියාය. කුප්පි දැමීමෙන් තම සගයන් ගොඩ දැමීමට කැපවීමෙන්
ක්‍රියා කල අයෙකි.
මේක සිද්ද
වුණේ හොස්ටල් එකේ අපි ගාල්ල පැත්තේ ට්‍රිප් එකක් ගිය වෙලාවක. ට්‍රිප් එකේ දවසක ඒ
පැත්තෙ කැලයක තියන බංගලාවක නයිටක් ගහන්න සෙට්වුණා. ඒකෙම කෝකියෙක් ඉන්න නිසා එදා
රෑට කන්නයි පහුවදා උදේට කන්නයි අඩුම කුඩුම ටික ගන්න කියලා ගාල්ල මාකට් එකට
ගියා. උදේට කන්න ප්ලෑන් කරන් තිබුණේ
කැකුළු බතුයි සම්බෝලයි කරවලයි. සම්බෝලෙට අවශ්‍ය පොල් මිරිස් අතරට දෙහි ටිකකුත්
ගත්තා. ඒ කාලෙ දෙහි ටිකක් ගණන්. කොහොම හරි දෙහි ගෙඩි පහක් විතර අරගෙන බංගලාවට
ගියා. බංගලාවෙ කෝකියාට බඩු ටික බාර දීලා එලවලු ටිකයි දෙහි ටිකයි කුස්සියේ ෆ්‍රිජ්
එකට දැම්මා.
එදා රෑ බයිට්
එක හදන වෙලාවෙ පලතුරු ටිකක් කපලා ගමු කියලා යෝජනා උනා. ඒකට දෙහි ඉස්ම ටිකක් ඉහලා
ගමු කියලා ලෑස්ති වෙනකොට අපි ළඟ තිබුණෙ සම්බෝලෙට ගත්ත දෙහි ටික විතරයි. ඒකෙන් එක
ගෙඩියක් වත් ගත්තොත් සම්බෝලෙට දෙහි මදිවෙයි කියලා පලතුරු වලට දෙහි දාන අදහස අත
ඇරියා.
එදා රෑ කොහොම
හරි කන්ට්‍රෝල් කරගන්නවා කියලා හිතුවට කට්ටියගෙ ලිමිට් එක පැන්නා. අපේ අයියලාගේ
ලිමිට් එක පැන්නම ඉතින් Hyperemesis වෙන නිසා එක එකා වමනෙ දාන්න පටන් ගත්තා. ඒ හිටපු බංගලාව
ටිකක් පිලිවෙලකට තියාගෙන ඉන්න එකක්. ඒක ජරා වුනොත් නම්බුව ඉවර නිසා වමනෙ යන එවුන්ව
මොනිටර් කරලා උන්ව අදාල ස්ථාන වලම වමනෙ කරන්න සැලැස්සුවා. කවුරුහරි එකෙක්
"අර්...ක් අර්..ක්" වගේ සද්දයක් එක්ක වමනෙට එනවා වගේ පෙන්නුවොත් එහෙම ඌව
ටක් ගාලා එලියට හරි ටොයිලට් එකට හරි අරගෙන යනවා. මේ මිෂන් එක මුලු රෑම ගියා.
කොච්චර මැනේජ්
කලත් යථා තත්වයට, ප්‍රකෘති
සිහියට ගන්න බැරි කීප දෙනෙක් හිටියා. බැරිම තැන උන් ටිකත් අරන් අරන් එලියෙ
වැරෙන්ඩා එක වගේ කොටසකට ආවා. ඇවිත් උන්ව ළඟ තියාගෙන හිටියා. වමනෙ යන උනුයි උන්ව
මැනේජ් කරන උනුයි දැන් වැරෙන්ඩා එකේ. අනිත් උන් කාමර වල නිදි. මිෂන් ඒක අරගෙන යන්න
මට මතක හැටියට එතන හිටියා මමයි, මාතලීයි,
තරුවයි, පුලියයි. අපි ටිකට
දැන් හොඳටම මහන්සියි. කාගෙන්ද මන්දා
යෝජනාවක් ආවා මුන්ගෙ GCS නග්ගන්න දෙහි
ටිකක් වත් බොන්න දීලා දෙහි බෑ ටික ඔලුවෙ අතුල්ලමුද කියලා. ඊට පස්සේ අපි ටිකම
කතාවුණා හෙට උදේට සම්බෝලෙට තියන දෙහි ටික නාස්ති කරන්න ඕනෙ නෑනෙ කියලා.
ඔහොම වැරෙන්ඩා
එකේ ඉන්නකොට පනඩියා කාමරේක දොරක් ඇරගෙන ඇඟ මැලි කඩ කඩ එලියට ආවා (මූ බොන්නේ නෑ) .
ඇවිල්ලා අපි හිටපු වැරෙන්ඩා එක හරහා බංගලාව ඇතුලට ගියා. මූ මේ කොහෙද මහ රෑ යන්නේ
කියලා අපිට පොඩි ප්‍රශ්නයකුත් ආවා. ඒත් පස්සෙන් යන්න වත් උනන්දු වුණේ නෑ. ගිහින්
ටික වෙලාවකට පස්සෙ මූ වීදුරුවකුත් අරගෙන රිතික් රෝෂන්ගේ වගේ වෝක් එකකින් අපි හිටපු
වැරෙන්ඩා එකට ආවා. ඇවිත් කණුවකට හේත්තුවක් දාගෙන කළුවර අහස දිහා බලාගෙන මනෝ පාරක්
ගහගෙන අර වීදුරුව තොල ගාන්න පටන් ගත්තා.
" මොනවද බං
ඔය" - මම ඇහුවා.
" දෙහි බං
" - මූ අහස දිහා බලාගෙනම උත්තර දෙනවා.
මල කෙලියයි මූ
දෙහි ගෙඩියකට වැඩේ දීලා. අපි මූණෙන් මූණ බලා ගත්තා.
" ඇයි උඹටත්
වමනෙ යනවද? " මම ඇහුවෙ
සිරාවට.
" නෑ බං "
- මූ තාම අහස දිහා බලාගෙන මනෝ පාර ගහනවා. මාර සිනමැටික් වීව් එකක්.
" එහෙනං බඩේ
අමාරුවක්? " මම ආයෙ ඇහුවා.
" නෑ බං. එහෙම
එකක් නෑ." ඌ ඕනෑව්ට එපාවට උත්තර දෙනවා.
" එහෙනං මොන
එහෙකටද බං මේ මහ රෑ සීතලේ දෙහි බොන්නෙ? "
" නෑ මචං. මට
ගෙදරදිත් මෙහෙම මහ රෑ ඇහැරෙනවා. එහෙම නැගිට්ටම ඉතින් මොනවා හරි හදාගෙන බොනවා.
"
අපි එක එකාගෙ
මූණ බලනවා.. යකෝ අපි සිහි නැතුව වගේ වැටිලා ඉන්න අහිංසකයන්ට වත් දෙහි ටිකක් හදලා
දුන්නේ නෑ.. එච්චර කැප කිරීමක් කරා. මූ ඒ අස්සෙ ආතල් එකට දෙහි බීලා. නෑ.... මූ
එක්කො දෙහි ගෙඩියක් විතරක් අරන් බීම එක හදන්න ඇති. අනිත් ඒවා සම්බෝලෙට ඉතුරු කරන්න
ඇති. තව ගෙඩි හතරක්ම ඉතුරුයිනේ. මම හිත හදාගත්තා. කෝකටත් මුගෙන්ම අහගන්න ඕනෙ.
" ඉතින් කොහෙන්ද
බං දෙහි? " මම ෂේප් එකේ
ඇහුවා.
" ෆ්‍රිජ් එකේ
තිබ්බේ බං. තව දෙකක් ඉතුරු කලා හදාගෙන බීපම්" කියලා මූ වීදුරුවෙ අඩියෙ තිබ්බ
දෙහි බීම ටික මිදුලට විසිකරලා කාමරේට ගියා.
මේක නිකන්
කුස්සියෙ කැරකිලා ෆ්‍රිජ් එක ඇරලා බලනකොට ෆ්‍රිජ් එකේ දෙහි ගෙඩි ටිකක් තියනවා
දැකලා ඒකෙන් තුනක්ම අරගෙන බීම හදාගෙන බීල. පහුවදා සම්බෝලෙට ගන්න තිබ්බ දෙහි ටික.
සෑහෙන අමාරුවකින් අපි දෙහි ටික ඉතිරි කරගත්ත බවක් ඌ දැනන් ඉඳලා නෑ.

Comments
Post a Comment