Skip to main content

ලංකාවෙන් ඩෙංගු සදහටම තුරන් කරන්නේ මෙහෙමයි.






ඩෙංගු වසංගතය රටම වෙලාගෙන අවසන්ය. තව දුරටත් එය තදාසන්න ප්‍රදේශ වලට පමණක් සිමා වුන රෝගයක් නොවේ. මෙවර වසංගත තත්වයේදී මුලින් ම එය රටේ කොළඹ, ගම්පහ, කුරුණෑගල, වැනි දිස්ත්‍රික්ක වල පමණක් දක්නට ලැබුනත් පසුව එය වෙනත් නගරබද ප්‍රදේශ කරාත් පසුව ඈත ගම් දනවු වෙතත් පැතිර ගිය අකාරයක් දක්නට ලැබුනි.

ඩෙංගු රෝගය යනුවෙන් පොදුවේ හැඳින්වුවත් මම රෝගයේ අවධි කිහිපයක් දක්නට ලැබේ. ඒවා නම් සාමාන්‍ය උණ පමණක් පෙන්වන අවස්ථාව, රක්තපාත නොවන ඩෙංගු අවස්ථාව, ඩෙංගු රක්තපාත අවස්ථාව, උග්‍ර ඩෙංගු අවස්ථාව වශයෙන් හැඳින්විය හැකියි. යම් කෙනෙක්ට ඩෙංගු වැළඳෙන රෝගය මෙහි ඕනෑම අවස්ථාවක් දක්වා යාමේ හැකියාව ඇත. ඩෙංගු රෝගයට ප්‍රතිකාර වශයෙන් මුලිකවම සිදු කරන්නේ රෝගියාව ඩෙංගු රක්තපාත තත්වයට හෝ එතනින් උග්‍ර අවස්ථාවලට ගමන් කරන්නේ දැයි ප්‍රවේශමෙන් නිරීක්ෂණය කිරීමත් එවැනි අවස්ථා වලට බඳුන් වුවහොත් නිවැරදිව දේහ තරල නියාමනය මගින් ( fluid management) ඒවා පාලනය කිරීමත්ය. එම ප්‍රතිකාර විස්තර කිරීම තරමක් සංකීරණය.

ඩෙංගු රෝගය ඇතිකරන්නේ ඩෙංගු නමැති වයිරසය මගිනි. මෙම වයිරසය ප්‍රධානව ප්‍රභේද  (serotype) හතරකින් සමන්විතයි. එම ප්‍රභේද DENV1, DENV2, DENV3, DENV4 ලෙස හඳුන්වයි. මෙතෙක් කල් ලංකාවේ වසංගත වලට හේතු වුයේ DENV1 යන කාණ්ඩය වුවද මෙවර මෙපමණ වසංගත තත්වයක් මතු වී ඇත්තේ DENV2 යන වයිරස් ප්‍රභේදය සක්‍රිය වී ඇති නිසාය. මෙම වයිරස ප්‍රභේද එකිනෙක ගත්කල සුළුවශයෙන් වෙනස් වන අතර ඇති කරන රෝග ස්වභාවයද බොහෝ දුරට සමාන වේ. නමුත් එක වයිරස් ප්‍රභේදයක් අසාදනය වූ අයෙක්ට නැවත වරක් වෙනත් ප්‍රභේදයකින් අසාදනය වුවහොත් ඇති කරන රෝග ස්වභාවය හා සංකුලතා ප්‍රමාණය වෙනස්ය. එවැනි අය ඩෙංගු රෝගයේ උග්‍ර අවස්ථා පෙන්නුම් කිරීමේ අවධානම වැඩිය. උදාහරණයකට මීට පෙර අවස්ථාවලදී ඔබට සහ මට ඩෙංගු වයිරසයේ පළමු ප්‍රභේදය ( DENV1) වැළඳී රෝගලක්ෂණ නොපෙන්වා හෝ සාමාන්‍ය උණ ලක්ෂණ පමණක් පෙන්වා තිබෙන්න ඇත. එයට හේතුව ජිවිතයේ පළමු වරට ඩෙංගු වයිරසයක් ශරීර ගතවන අයගෙන් බහුතරයකට දරුණු රෝගලක්ෂණ නොපෙන්වා හෝ සාමාන්‍ය උණ ලක්ෂණ පමණක් මතුවී සමනය වන නිසාය . නමුත් දැන් සක්‍රිය වී ඇති DENV2 යන ප්‍රභේදය අපේ ඇඟට අතුලුවුවහොත් අපෙන් වැඩි පිරිසකට රෝගලක්ෂණ මතුවේ. එපමණක් නොව ඩෙංගු රෝගයේ උග්‍ර අවස්ථා වන රක්තපාත තත්වයට පවා ඔඩු දිවීමේ හැකියාව ඇත. අප අද අත්විඳින උග්‍ර වසංගත තත්වයට එක  හේතුවක් නම්  මෙම නැවත වරක් ආසාදනය වීමේ” (Re-infection) සංසිද්ධියයි.


ඩෙංගු රෝගය ඇතිවන ස්වභාවය

ඩෙංගු රෝගය ඇති කරන්නේ ඩෙංගු වයිරසය මගිනි. වයිරසයක් යනු ජීවි අජීවී ලක්ෂණ දෙකම පෙන්වන දෙයකි. ඩෙංගු වයිරසයට ජීවි ස්වභාවය පවත්වා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම ජීවි සෛලයක් අවශ්‍ය වේ. ඉන්ෆ්ලුවෙන්සා වැනි වයිරස් වලට මෙන් සිරුරෙන් පිටදී සෙම, කෙල, වැනි දේහ තරල වල ජීවී ස්වභාවය පවත්වාගැනීමේ හැකියාවක් ඩෙංගු වයිරසයට නැත. එම නිසා මෙම වයිරසයේ පැවැත්ම සඳහා ශරීරයකින් ශරීරයකට හුවමාරු වීම අත්‍යවශ්‍යය. වයිරසය මගින් එසේ හුවමාරු වීම සඳහා තෝරාගෙන ඇත්තේ මිනිසා සහ මදුරුවා (ඊඩිස් ඉජිප්ටයි, ඊඩිස් ඇල්බොපික්ටස්) යන ජීවින් විශේෂයි. මිනිසාගෙන් මදුරුවෙක්ටත් මදුරුවෙක්ගෙන් මිනිසෙකුටත් වශයෙන් චක්‍රයක් ලෙස මෙම වයිරසය ශරීර හරහා ගමන් කරයි. මෙම චක්‍රය අපි දැන් ක්‍රමානුකුලව විමසාබලමු.



පළමුව වයිරසය සහිත ඩෙංගු රෝගියකුගේ රුධිරය මදුරුවක්ගේ ශරීරයට ඇතුළු විය යුතුය. රෝගියාගේ රුධිරය හරහා මදුරුවාගේ ආහාර මාර්ගයට ඇතුළු වන වයිරසය මදුරුවාගේ ශරීරය තුල යම්කාලයක් තිස්සේ වර්ධනය වීම සිදුවේ (Extrinsic Incubation Period). මේ කාලය තුල මදුරුවා වෙන අයෙක්ට දෂ්ට කල විට වයිරසය සම්ප්‍රේෂණය වීමේ හැකියාව අඩුය. මෙසේ දවස් 8-10 ක කාලයක් වර්ධනය වීමෙන් පසුව වයිරසය මදුරුවාගේ රුධිර සංසරණ පද්ධතියට ඇතුළුවේ. වෙනත් අයකුට සම්ප්‍රේෂණය වීමේ හැකියාව මදුරුවාට ලැබෙන්නේ මින් පසුවය. වෙනත් වචන වලින් කිවහොත් රෝගියකුට දෂ්ට කිරීමෙන් දවස් 8 ක් වත් යනතුරු මදුරුවා වෙනත් අයෙකුට දෂ්ට කලද වයිරසය එම පුද්ගලයාට ඇතුළුවන්නේ නැත. නමුත් අවධානය යොමු විය යුතු කාරණය වන්නේ මෙසේ දවස් 8 කට පමණ පසු මදුරුවාට ලැබෙන වයිරසය සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව උගේ ඉතිරි ජිවිත කාලය පුරා පැවතීමයි. මදුරුවා එතනින් පසු දෂ්ට කරන සැම කෙනෙක්ටම වයිරසය ශරීර ගතවේ. ඊඩිස් මදුරුවන්ගේ සාමාන්‍ය ජිවිත කාලය සති තුනක් පමණ වේ.


මෙසේ වයිරසය සහිත මදුරුවෙක් මිනිසෙකුව දෂ්ට කල විට එම වයිරසය මිනිසාගේ රුධිරයේ සහ සම අසල තිබෙන ප්‍රතිශක්තියට සම්බන්ධ සෛල වලට ඇතුළුවේ. වයිරසය සහිත මේ සෛල කිහිපය වසා ගැටිති, අක්මාව, ප්ලිහාව, අට මිදුළු වැනි අවයව වලට ඇතුළුවී ඒවා තුලදී බෝ වීම (Replication) සිදු වේ. මෙලෙස සංඛ්‍යාවෙන් වැඩි වූ පසුව වයිරස් විශාල ප්‍රමාණයක්  රුධිරයට නිකුත් කෙරේ. මේ අවස්ථාව වයිරිමියා (viremia) ලෙස හැඳින්වේ. මෙම viremia අවස්ථාව එන විට රෝගියා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට පටන් ගනී. සාමාන්‍යයෙන් මදුරුවා දෂ්ට කල දිනයේ සිට දින 4-7 දක්වා කාලයක් මෙසේ රෝගලක්ෂණ පටන් ගැනීම සඳහා ගත වේ. (මිනිසා තුල බීජෞෂණ සමය/Intrinsic Incubation Period)
මිනිසා තුල ඇති වයිරසය ලේ බොන තවත් මදුරුවෙක්ට සම්ප්‍රේෂණය වීමේ වැඩිපුරම හැකියාවක් තිබෙන්නේ මෙම වයිරිමියා අවස්ථාවේ ලේ උරා බොන විටදීය. එනම් රෝග ලක්ෂණ පෙන්නුම් කලාට පසුය. දැනට තිබෙන  සාධක අනුව රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට පැය 24 කට පමණ පෙර සිට රෝගය සම්ප්‍රේෂණය වීමේ හැකියාවක්ද ඇත. නමුත් ඊට පෙර බීජෞෂණ සමයේදී නම් වයිරසය සම්ප්‍රේෂණය කිරීමේ හැකියාවක් නැත. රෝග ලක්ෂණ නොපෙන්වන අයට වයිරසය සම්ප්‍රේෂණය පෙන්වීමේ හැකියාවක් ඇතිදැයි තවම විද්‍යාත්මකව ඔප්පු කර නැත. ඒ පිළිබඳව පසුව සාකච්ඡා කෙරේ.





ඩෙංගු රෝගය ඇතිවන ආකාරය ගැන නොදැනුවත් වීම නිසා ඩෙංගු මර්දනය ගැන  සමාජයේ ඇති දුර්මත


අද වනවිට ඩෙංගු මර්දන ව්‍යාපාර කෙතරම් සාර්ථකව දියත් වේද, ඒ ගැන සමාජය කොතරම් දැනුවත්ද කිවහොත් ඕනෑම කුඩා ළමයෙකු වුවත් ඩෙංගු පාලනය පිලිබඳ කටපාඩමින්  කීමට වුවද සමත්ය. නමුත් වර්තමානයේ ඩෙංගු මර්දන ක්‍රියාමාර්ග සියල්ල මදුරුවන් බෝවන තැන විනාශ කිරීමට පමණක් මුල්තැන දෙන බවක් පෙනෙන්න තිබේ. මාධ්‍ය වලින් ජනතාව දැනුවත් කිරීමේදීත් ආයතනික හා ජාතික වශයෙන් ඩෙංගු මර්දන ක්‍රියාමාර්ග සැලසුම් කිරීමේදීත් එකම ක්‍රියාමාර්ගය ලෙස ඉදිරිපත් කර ඇත්තේ මදුරුවන් බෝවන ස්ථාන සොයාබලා විනාශ කරන ක්‍රම වලටය. මෙයට නොයෙක් දේශපාලන මැති මතාන්තරද එකතු වී මදුරුවන් බෝවන්නේ කුණු හේතුවෙන් නිසා ඩෙංගු වලට හේතුවත් කුණු බවටම මතය නැඹුරු වී ඇත. නමුත් ඇත්තටම ඩෙංගු වලට හේතුව කුණු ද? නැත්නම් වතුර එකතු වෙන තැන්ද? මේ පිලිබඳ සොයා බැලීම වටි.

ඩෙංගු රෝගය ඇතිවෙන්නේ ඩෙංගු වයිරසය ශරීර ගතවීමෙන් පසුව වයිරසයට විරුද්ධව ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් ඇති කරන ප්‍රතික්‍රියාව මගිනි. විශේෂයෙන් ප්‍රතිකාර කිරීමේදී වෛද්‍යවරුන්ට හා කාර්යමණ්ඩලයට  දැඩි වෙහෙසක් ගැනීමට සිදුවන ඩෙංගු රක්තපාත තත්ත්වයට හේතු වන්නේ මෙම අසාමාන්‍ය ප්‍රතිශක්තිමය ප්‍රතික්‍රියාවයි. (Immune Catastrophe) එසේ ගත්කල ඩෙංගු වල ප්‍රධාන වගකිව යුත්තා වන්නේ මෙම ශරීරයෙන් ඇති කරන ප්‍රතික්‍රියාවයි.

ඩෙංගු රෝගයේ මීළඟ වගකිවයුත්තා වන්නේ ඩෙංගු වයිරසයයි. මෙම වයිරසය පිලිබඳ විස්තර ඉහතින් විස්තර කර ඇත. වඩා වැදගත් කරණය වන්නේ මෙම වයිරසය සිටින්නේ කොහේද යන කාරණයයි. පෙර විස්තර කල අකාරය අනුව වයිරසය සිටින්නේ මදුරුවා සහ මිනිසා තුලයි. ඔවුන්ගෙන් වඩා වැඩි වයිරස් ප්‍රමාණයක් සිටින්නේ මිනිසුන් තුලය. මොවුන්ගෙනුත් අධිකම වයිරස් ඝනත්වයක් සිටින්නේ රෝග ලක්ෂණ පෙන්වන මිනිසුන් තුල ය.  අපි වයිරසය දරාගෙන සිටින මිනිසාව මොහොතකට අමතක කලොත් වයිරසය සහිත ඊඩිස් වර්ගයේ මදුරුවන් සිටින්නේ අප අවට පරිසරයේය. විශේෂයෙන් නගරබද ප්‍රදේශ වලය. මෙම මදුරුවන් බිහිවන්නේ බිත්තර වලින්ය. ගැහැණු මදුරුවන් බිත්තර  දමන්නේ වතුර එකතුවන ස්ථාන වලය. නගරබදව මෙලෙස වතුර එකතුවන තැන් ඇත්තේ නිවැරදිව කසල කළමනාකරණය නොකරන නිසාත් නිවැසියන් තම නිවෙස් තුල වතුර එකතුවන තැන් පිලිබඳ අපරික්ෂාකාරී නිසා බවත් දැනට සමාජ ගත මතයයි. මෙම දාමය ඔස්සේ පහලටම පැමිණ බැලු විට ඩෙංගු රෝගය ඇතිවන්නේ වතුර එකතුවන තැන් හෝ කුණු නිසා බවට වුවත් කෙනෙක්ට සිතෙන්න පුළුවන. ඇත්ත වශයෙන්ම අද වන විට මාධ්‍ය මගින් සහ දේශපාලන අධිකාරිය මගින් සමාජයේ ඩෙංගු පිලිබඳ මතය ලඝු කර ඇත්තේ මෙතනටය. රෝගයට වගකිවයුත්තේ වතුර එකතුවන තැන් පමණක් නොවන බව බොහෝ දෙනා අවබෝධ කරගෙන නැත. ඩෙංගු රෝගයට කුණු හෝ වතුර එකතුවන ස්ථාන හැරුණු විට තවත් වගකිවයුත්තන් ඇත.  ඊඩිස් මදුරුවන්, වයිරසය සහිත මිනිසුන්, ඩෙංගු වයිරසය සහ වයිරසය මගින් සිරුරේ ඇති කරන ප්‍රතිශක්තිමය ප්‍රතික්රියාවද ඩෙංගු රෝගය සඳහා වග කිව යුත්තෝය.


ඩෙංගු රෝගය ඇතිවන ස්වාභාවය ප්‍රයෝගිකව වසංගතය පාලනයට යොදා ගත හැකි ආකාරය.





ඉහත විස්තරකල ආකාරයට ඩෙංගු රෝගයට වගකිව යුත්තෝ බොහෝය. සිරුර තුලින් ඇතිකරන ප්‍රතිශක්තිමය ප්‍රතික්‍රියාවේ සිට වතුර එකතු වීමට උපකාරී වන කුණු දක්වා සියලු අංග ඩෙංගු රෝගයේ කොටස් කරුවෝය. නමුත් අද වනවිට ඩෙංගු වසංගතය පාලනය කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සියල්ලක්ම පාහේ කේන්ද්‍ර වී ඇත්තේ මදුරුවන් බෝ වන තැන්  ඉලක්ක කරගෙනය. අනෙක් වගකිවයුත්තන්ව මගහැරී ඇත්තේ කිනම් කාරණයක් නිසාදැයි ප්‍රශ්නයකි. කෙසේ වෙතත් මැදහත් සිතකින් සිතා බැලුවහොත් තේරුම් යන කාරණය වන්නේ අපි දැන් අත්විඳින අන්දමේ අධි වසංගත තත්වයකදී එක දිශානතියට පමණක් සිමා නොවී සියලු පැතිකඩ වලින් ප්‍රශ්නය දෙස බලා ගතහැකි ක්‍රියාමාර්ග ගතයුතු බවයි.


මදුරුවන් බෝවීම සඳහා ඉවහල් වන වතුර එකතු වන ස්ථාන සහ ඊට මුලික වන අවිධිමත් කසල කළමනාකරණයට පිළියම් යෙදීම අනිවාර්යයෙන් කල යුතුය. ඒ සඳහා රජය දැනට ගෙනයන වැඩපිළිවෙල ඉතා සාර්ථක බව පෙනෙන්න තිබේ. සත්‍ය වශයෙන්ම මෙම මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමේ ක්‍රියාමාර්ග උපරිම තලයකට පැමිණ තිබේ. ඒ සඳහා කැපවුන සියලු දෙනාට ඒ ස්තුතිය පිරිනමන අතරේ මතක් කල යුතු කාරණය වන්නේ අපේ ඇසට හසු නොවන ස්ථාන වලද මදුරුවන් බෝ වීම සිදුවන බවය. අප කොතරම් සුපරික්ෂාකාරිව සොයා බැලුවත් ඒවා තවදුරටත් අපට හසු නොවන බවය. උදාහරණයකට ඊඩිස් ඇල්බොපික්ටස් යන මදුරු විශේෂය බිත්තර දැමීමට රුචිකත්වයක් දක්වන්නේ කුඩා ජල ප්‍රමාණයක් එකතුවන ස්ථාන වලය. තේ හැන්දක ප්‍රමාණයක ජලය වුවද ඌට ප්‍රමාණවත්ය. ඉතින් ගෙවත්තක් ගතහොත් මෙපමණ සුළු වතුර ප්‍රමාණයක් තිබෙන තැනක් පරිශ්‍ර පරික්ෂාවේදී අපට පහසුවෙන් මගහැරී යා හැකිය. ඒ කෙසේ වෙතත් මදුරුවන්ට බෝ විය හැකි වතුර එකතු වන ස්ථාන නිරන්තර පරික්ෂාව සහ විනාශ කිරීම දිගටම සිදුවිය යුතුය. විශේෂයෙන් අලුතෙන් වර්ෂාවක් පතිත වූ විට එවැනි ස්ථාන අලුතෙන් ඇතිවිය හැකි නිසා අවධානයෙන් සිටීම වැදගත්ය. පරිශ්‍ර පරික්ෂාවේ වැදගත්කම පිලිබඳ මහජන අවධානය දිගටම පවත්වාගැනීම දිගටම සිදු විය යුතුය. අපේ අවධාරණය වන්නේ දැනට මුලිකත්වය දී ඇති මෙම වැඩපිළිවෙලට සමගාමිව වසංගතය පාලනය කිරීමට ගත හැකි වෙනත් පියවරද ගන්නා ලෙසයි.

වෙනත් පියවර ලෙස සැලකිය හැක්කේ මදුරුවන් පාලනය කිරීම, වයිරසය පාලනය කිරීම සහ වයිරසය මගින් සිරුරේ ඇති කරන වෙනස්වීම් පාලනය කිරීම යන කරුණුයි. ඒවා එකින් එක විමසා බලමු.

මදුරුවන් පාලනය කිරීම සඳහා  ඔවුන් බෝ වන තැන් විනාශ කිරීම හැරුණු කොට තවත් ක්‍රම ඇත. සරල කරණා ලෙස පෙනී ගියද කොයිල්, වේපරයිසර්, ආලේපන ආදිය භාවිතා කිරීම තමන් අවට මදුරු ගහණය අඩු කරගැනීමට ගත හැකි වැදගත් ක්‍රියාමාර්ග . තවත් වැඩිපුර අවධානය යොමු නොවන ක්‍රමයක් වන්නේ නිවෙස් සහ කාමර වල මදුරුවන්ට ඇතුළුවිය නොහැකි ලෙස දැල් වලින් ආවරණය කිරීම යි. ඩෙංගු ඉතා බහුල ප්‍රදේශයක මෙම ක්‍රමය කෙටි කාලයකට භාවිතා කල හැක. වඩාත් පලදායි වන්නේ මෙම ක්‍රම එකකට වඩා ප්‍රමාණයක් සංකලනයක් වශයෙන් භාවිතා කිරීම යි. ඔබ අවට ඩෙංගු වාර්තා වී ඇත්නම් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ව දැනුවත් කර ධුමයානය වැනි ක්‍රම වලින් මදුරුගහනය අඩු කිරීමට පියවර ගැනීමද වැදගත්ය. මදුරුවන් බිත්තර දැමීම සඳහා ආකර්ශනය කරගෙන ඒවා විනාශ කෙරෙන ආකාරයේ මදුරු උගුලක්කවුරුන් හෝ විසින් විසින් නිර්මාණය කර තිබෙනු දක්නට ලැබුණි. එවැනි දෙයක් මදුරු පාලනයට ඉතා පලදායි වනු ඇත.

වයිරසය මගින් සිරුරේ ප්‍රතිශක්තිමය පද්ධතියෙන් ඇති කරන වෙනස් කම් පාලනය කලහැකි නම් ඩෙංගු රෝගය මේ තරම් හිස රදයක් නොවේ. ඩෙංගු වයිරසය මේ තරම් වධයක් බවට පත්ව ඇත්තේ මෙමගින් ඇති කරන රක්තපාත තත්වය නිසාය. රක්තපාත තත්වයට යාම වලක්වන ඖෂධයක් සොයාගතහොත් ඩෙංගු ගැන බිය විය යුතු නැත. එවිට ඩෙංගු රෝගීන් වාට්ටු වල පිරවීමේ අවශ්‍යතාවයක් නොමැත. එය තවත් එක් සාමාන්‍ය වයිරස් උණක් පමණක් වනු ඇත. දැනට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ ඒකකයේ මේ පිලිබඳ පරීක්ෂණ සාර්ථකව කරගෙන යයි. එය සුබදායිය. මේ දින වල සතර අතින් ඇසෙන්න ලැබෙන විකල්ප ප්‍රතිකාර යෝජනා කරන අයටත් ඒවා නිසි ක්‍රමවේදයකට පරීක්ෂණ වලට බඳුන් කිරීමට අවශ්‍ය  ඉඩ පහසුකම් සලසා දිය යුතුය.

ඩෙංගු වයිරසය සඳහා ප්‍රතිශක්තිකරණ එන්නත ගැනද කටයුතු කඩිනම් විය යුතුය.


වයිරසය පාලනය කිරීමෙන් ඩෙංගු වසංගතය පාලනය කිරීම

අවධානය යොමු විය යුතු ම කාරණය වන්නේ වයිරසය පාලනය කිරීම හරහා ඩෙංගු වසංගතය පාලනය කිරීම කෙරෙහිය. දැනට අවධානය අඩුවෙන්ම යොමුවී ඇත්තේද එම ක්‍රමවේදය පිලිබඳවය. ඇත්තෙන්ම මෙම වයිරසය පාලනය කරන්නේ කෙසේද?
ලොව ඇති වයිරස බොහොමයක් ඖෂධ මගින් විනාශ කල නොහැක. ඩෙංගු වයිරසයද එවැනි වයිරසයකි. නමුත් වාසනාවකට එයට ජිවත් විය හැක්කේ සජීවී ශරීරයක් තුල පමණි. තවද ඉන්ෆ්ලුවෙන්සා වැනි දරුණු ගණයේ වයිරස මෙන් ශරීරයෙන් පිටදී සොටු, කෙල වැනි දේහ තරල තුල ජිවීව සිටීමේ හැකියාවක් ඩෙංගු වලට නොමැත. වටිනාම ගුණාංගය වන්නේ එක් ශරීරයක් තුල දී ඩෙංගු වයිරසයට ජීවිතය පවත්වා ගත හැක්කේ සුළු කාලයක් පමණක් වීමයි. ඉන් පසුව තම වර්ගයා පවත්වාගෙන යාමට නම් වයිරසය තවත් ශරීරයක් සොයා ගත යුතුය. මෙයින් පෙනී යන්නේ අප මෙම කාලය තුල වයිරසය ශරීරයක සිර කර තැබුවහොත් ( එම ශරීරයෙන් තවත් ශරීරයකට යා නොදී තබා ගත හොත් ) එම වයිරසය මරා දැමුවා හා සමාන බවය. ඩෙංගු වසංගතය පාලනය කිරීමටත් අප යොදා ගත යුත්තේ මෙම සිර කර තැබීමේඅදහසයි. මේ සඳහා ඩෙංගු වයිරසය සහිත පුද්ගලයින්ව හඳුනා ගත යුතුය. ඩෙංගු වයිරසය සහිත පුද්ගලයින් කණ්ඩායම් දෙකකි. එක් කණ්ඩායමක් නම්  රෝගලක්ෂණ පෙන්වන කණ්ඩායම වන අතර අනෙක් කණ්ඩායම රෝග ලක්ෂණ නොපෙන්වන කණ්ඩායම වේ. අපට රෝග ලක්ෂණ පෙන්වන කණ්ඩායම හඳුනා ගැනීම පහසුය. ඔවුන් හඳුනාගත් පසු කලයුත්තේ ඔවුන්ගෙන් පිටතට වයිරසය සංක්‍රමණය නොවී පවත්වා ගැනීම ය.  යම් පුද්ගලයෙක්ට වයිරසය ශරීර ගතවුවාට පසුව ඔහුගෙන් වයිරසය සම්ප්‍රේෂණය විය හැකි නිශ්චිත කාල සීමාවක් පවතී. මෙය වෛද්‍ය විද්‍යාවේ Infectious Period යනුවෙන් හැඳින්වේ. ඩෙංගු රෝගලක්ෂණ පෙන්නුම් කරන කෙනෙක්ගේ මෙම කාල සිමාව උණ මතු වී දින 5ක් යනතුරු කාලය වේ. උණ මතුවීමට පෙර පැය 24 ක පමණ කාලය තුලද වයිරසය සම්ප්‍රේෂණය වීමේ හැකියාව ඇති බවට සොයාගෙන තිබේ. මෙම කාල සිමාව තුල දී රෝගියාගේ රුධිරයේ වයිරසය උපරිම ඝනත්වයකින් පවතී. (Viremia අවස්ථාව) මෙම viremia අවස්ථාවේ රෝගියාව මදුරුවෙක් විසින් දෂ්ට කළහොත් ඔහුගේ රුධිරයේ ඇති වයිරස් මදුරුවාට සංක්‍රමණය වීමට පුළුවන. අපට එවැනි රෝගියෙකුට උණ මතුවීමට පෙර හඳුනා ගත නොහැක. එම නිසා පෙර කියූ පැය 24 කාල සිමාව ගැන කිසිවක් අපට කල නොහැක. නමුත් උණ ගැණුනු පසු දවස් 5 ක කාල සිමාව අපට ප්‍රයෝජනයට ගත හැක.


 ඩෙංගු බහුල ප්‍රදේශයක කෙනෙක්ට උණ මතු වන විට එය ඩෙංගු වීමේ වැඩි අවස්ථාවක් ඇත. ඉන්පසු වෛද්‍යවරයෙක් හමු වූ විට රෝග ලක්ෂණ වලින් සහ Antigen පරික්ෂාව මගින් ඩෙංගු බවට තහවුරු කරගැනීමට හෝ අනුමාන කිරීමට හැකියාව ඇත. එසේ වෛද්‍යවරයා හමුවන අවස්ථාවල හැර අන් සියලු අවස්ථා වල එම රෝගියා දින පහක් යනතුරුත් මදුරුවන්ගෙන් ආරක්ෂා වී සිටියහොත් ඔහුගෙන් එහාට එම වයිරසය සම්ප්‍රේෂණය වීම නැවැත්විය හැක. මදුරුවන්ගෙන් ආරක්ෂා විය හැකි ක්‍රමය නම් උණ මතුවී දින පහක් වත් යනතුරු හැකි සෑමවිටම මදුරු දැලක් තුලට වී සිටීම සහ විකර්ෂක භාවිතා කිරීම . ඇත්ත වශයෙන්ම මෙහිදී සිදු කෙරෙන්නේ මදුරුවන් ව ඩෙංගු වයිරසයෙන් බේරා ගැනීමකි. එය එතරම් අපහසු කාර්යයක් නොවන්නේ ඩෙංගු රෝගයට ප්‍රතිකාර කිරීමේදී ඇඳ විවේකය අනිවාර්ය කර ඇති නිසාය. නිවසට වී සිටින කාල සමයේදී හෝ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නා කාලය තුලදී මදුරු දැලක් තුලට වී සිටීම අපහසු කාරණයක් නොවේ. රෝගීන් බහුල වාට්ටු වල බිම, ඇඳන් යට රෝගීන් සිටින විට සහ එක ඇඳක රෝගීන් දෙදෙනා බැගින් සිටින විට මෙසේ මදුරු දැල් දැමීම ප්‍රයෝගික නොවේ නම් මුළු වාට්ටුවම ආවරණය කිරීමට රජය පියවර ගත යුතුය. කණගාටුවට කරුණ නම් මෙම කාරණය පිලිබඳ රජයේ රෝහල් වල අවධානය ඉතාම අවම මට්ටමක පැවතීමයි.


රෝග ලක්ෂණ පෙන්වන වයිරස් අසාධිතයින්ව පාලනය කරන්නේ එලෙස නම් රෝග ලක්ෂණ නොපෙන්වන්නන්ව පාලනය කරන්නේ කෙසේද යන ප්‍රශ්නය මීළඟට මතුවේ. මොවුන්ව හඳුනාගැනීම ඇත්තටම කල නොහැක්කකි. හේතුව නම් රෝගලක්ෂණ නොපෙන්වූ කෙනෙක්ට ඩෙංගු සැදී ඇත්දැයි දැන ගත හැක්කේ යම් කාලයකට පසුව ප්‍රතිදේහ පරීක්ෂාවක් හරහා නිසාය. උදාහරණයකට ඔබට මේ ඩෙංගු වසංගතය තුලදී ඩෙංගු වයිරසය අසාදනය වුනාද කියා දැනගත හැක්කේ රෝගලක්ෂණ පහල වුවොත් වයිරසය සම්බන්ධ පරීක්ෂණ කිරීම මගින් හෝ වසංගතයට කලින් හා අවසන් වීමෙන් පසුව ප්‍රතිදේහ පරික්ෂාව කිරීමෙනි. එය තරමක් සංකීර්ණ ය. මුලදී ප්‍රතිදේහ පරික්ෂාව නෙගටිව් (negative) වී වසංගත සමය තුල රෝගලක්ෂණ පහල නොවී අවසාන ප්‍රතිදේහ පරික්ෂාව පොසිටිව්(positive) වුවහොත් ඔබව රෝග ලක්ෂණ මතුනොවූ ඩෙංගු ආසාදිතයෙක්ලෙසට නම් කල හැක. රෝග ලක්ෂණ නොපෙන්විමෙන් අදහස් වන්නේ ඔබේ රුධිරයේ ඇති වයිරස් ප්‍රමාණය උණ ඇතුළු රෝග ලක්ෂණ මතුකිරීමට තරම් ප්‍රමාණවත් නොවන බවයි. එම වයිරස් මට්ටම ඔබෙන් මදුරුවාට රෝගය සම්ප්‍රේෂණය කිරීමටත් ප්‍රමාණවත් නැත. වෙනත් වචන වලින් කිවහොත් සම්ප්‍රේෂණය කිරීමට ප්‍රමාණවත් වයිරස් මට්ටමක් රුධිරයේ ඇති නොවුනහොත් රෝග ලක්ෂණ පෙන්වන්නේ නැත. එම නිසා අප රෝගලක්ෂණ නොපෙන්වන ආසාදිතයින්ව පරෙස්සම් කිරීම ගැන වද විය යුතු නොවේ.


අනෙක් අතට මෙම රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයින් ගැන වද විය යුතු නොවන්නේ මෙම සංකල්පය ඔස්සේ වසංගතය පාලනය කිරීමට නම් සම්ප්‍රේෂණ හැකියාව සහිත පුද්ගලයන් 100% ක්ම ආවරණය කිරීම සිදු කලයුතු නොවන නිසාය. එවැනි අයගෙන්  50% ක් වුවත් තෝරාගෙන මදුරුවන් ඔවුන්ගෙන් පරෙස්සම් කරගෙන මාස කිහිපයක් තුල එම කාර්යය කරගෙන ගියහොත් අපට ඩෙංගු රෝගය දිවයිනෙන් තුරන් කිරිමට වුවද හැකියාව ඇත. ඒ නිසා රෝගලක්ෂණ නොපෙන්වන අයගෙන් යම් ප්‍රතිශතයක් වයිරසය මදුරුවන්ට සම්ප්‍රේෂණය කලද අප බිය විය යුතු නැත. අප මුහුණ දී සිටන ආකාරයේ අධි වසංගත තත්වයකදී එය පාලනය කිරීම සඳහා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගත යුතුය. එහිදී අපට නොපෙනෙන දේවල් ගැන වද වීම වෙනුවට හොඳින් පෙනෙන දේවල් වලට ක්‍රියාමාර්ග ගැනීම වටී.

නැවත වරක් අවධාරණය කරන්නේ දැනට කෙරීගෙන යන මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කිරීමේ කටයුතු දිගටම කරගෙන යා යුතු බවට ය. ඒ ගැන මහජනයාගේ අවධානය සහ දායකත්වය දිගින් දිගටම ලැබිය යුතුය. වඩා හොඳින් වසංගතය පාලනය කල හැක්කේ සියලුම ආකාරයේ ක්‍රියාමාර්ග ඒකාබද්ධ කිරීම මගිනි. ඒ සඳහා විවෘත සිතින් ප්‍රශ්නය දෙස බැලිය යුතුමය. එහිදී ඔබත් මමත් මෙතෙක් කල් දැඩි ලෙස එල්බගෙන සිටි මතයන් පවා අභියෝගයට ලක් විය හැක. නමුත් අභියෝගයට බියෙන් එම මතයන් ආරක්ෂා කරනවාද නැත්නම් වෙනත් මතයන්ද සැලකිල්ලට ගෙන ඩෙංගු රෝගයෙන් රටේ මිනිසුන්ව ආරක්ෂා කරනවාද යන්න අප සැම හෘදසාක්ෂියෙන් විමසිය යුතු පැනයකි.


විශේෂ ස්තුතිය - එක්සත් ජනපදයේ බෝවන රෝග පාලනය පිලිබඳ විශ්‍රාමික විශේෂඥ වෛද්‍ය ලාල් ජයසිංහ මහතාට. මෙම සංකල්පය ඉදිරිපත් කිරීමේ මුල් ගෞරවය ඔහුට හිමි යි.




 හසින්ද උදලාගම 




.  




Comments

Popular posts from this blog

කාන්තාවන් සුන්නත් කිරීම ගැන

නොබෝදා මුස්ලිම් කණ්ඩායම් කිහිපයක් එකතුව රජයෙන් සිදු කරන ලද ඉල්ලීමක් නිසා කාන්තාවන් සුන්නත් කිරීම ගැන කතාබහක් හිටි හැටියේම කරලියට පැමිණියේ ය.

බාබර් කස්ටමර් සර්විස්

මේ දවස් වල කස්ටමර් සර්විස් ගැන ලියන නිසා මේ කතාවත් මතක් වුනේ. මේක ටිකක් කාලෙකට කලින් සිද්ධ වුන දෙයක්. දවසක් කොණ්ඩෙ කපා ගන්න ගියා.