Skip to main content

බෝරින් අවුරුදු




අවුරුදු කාලෙ තරම් මීඩියා බෝරින් කාලයක් තවත් නෑ.. රෑට වැහැලා උදේට පරිසරයෙ තියන සුන්දරත්වය අවුරුද්දෙ වෙන කිසිම කාලෙක නෑ. ඒ කික් එකත් 
නැති කරලා දානවා මේ මීඩියා හැත්ත. ‍රේඩියෝ එකේ ඇහෙන්නෙම රන්වල සෙට් එකයි, රබන් සද්දෙයි, කොහාගෙ සද්දෙයි, අස්වනු ගෙට ගන්න එක ගැනයි, කැවුම් කිරිබත් උයන එක ගැනයි, ඔය වගේ හදා ගත්ත අමුතු එකක්.

මහ බොරුවක් නෙ!!

තව දුරටත් අප්‍රේල් අවුරුද්දත් එක්ක බැඳුනු සංස්කෘතිය ඒක කියන්නෙ අස්වැන්න නෙලලා ගෙට අරගෙන ඒකෙන් ලැබෙන මුදලෙන් අලුත් ඇඳුම් කැඩුම් අරන් කැවිලි පෙවිලි හදාගෙන නෑගම් යන එක නෙමේ. දශක ගණනාවක් තිස්සෙ අපි මේ බොරුව නඩත්තු කරනවා. අපිට ඇඟට දැනෙන්නෙ නැති විදියෙ අමුතු දෙයක් අපි සමරනවා. සියවස් ගාණක් තිස්සෙ කන්නෙ නැති අතිරස කැවුමක් හදාගෙන අවුරුදු ඉවර වෙලා විසිකරනවා.

හැබැයි මේ ආතල් එක අපිට ඇඟට දැනෙන විදියට සමරන්න පුලුවන්. කිසිම මීඩියා එකකින්වත්, ඇඩ්වටයිසින් කම්පැනි එකකින්වත් මේ රහ මතු කරනව මම දැකලා නෑ.. ඇත්තටම මේ අප්‍රේල් මාසෙ පරිසරයෙ වෙනස් විල්ලත් එක්ක අපිට ඇඟට දැනෙන සමරන්න හිතෙන දේවල් ටිකක් තියනවා.


අප්‍රේල් වැස්ස - අප්‍රේල් වැස්ස කියන්නෙ මම නම් කැමතිම වැස්ස. දවල් හොඳට දාඩිය දාන්න පායලා හවස පහට හයට විතර වහින්න තියාගන්නවා. වහින්න කලින් ගෙදරට ආ ගත්තොත් මරේ මරු. ඒ නැතත් වැස්සෙම තෙමීගෙන ගෙදරට ඇවිල්ලා ආයෙ ගෙදරිනුත් නාලා කෝපි එකක් බොන එක තරම් සනීපයක්. එලියෙ හොඳට අකුණු ගහ ගහ වහිනවා.. ටීවී කම්පියුටර් බෑ. ගෙදර මිනිස්සු එක්ක කතාකර කර ඉන්න තියෙන්නෙ. බැරිවෙලා හරි කරන්ට් ගියොත් එතනත් වෙනම ආතල් එකක්. එක දිගට පැය කීපයක් වැහලා අට නමය විතර වෙනකොට මං නම් නෙමේ වැස්සෙ ගානට අහස පැහැදිලි වෙනවා. තරුත් පේනවා. එතන ඉඳන් පශ්චාත් වැහි ෆීලින් එක. වැස්සට පස්සෙ ගෙම්බො කෑගහන එක මට නම් කොහාගෙ සද්දෙට වඩා ආතල්. හොඳම හරිය පහුවදා උදේට. රෑ වැස්සට පස්සෙ උදේට වැටෙන අව් රැල්ලත් එක්ක දවසම ආයෙ රිෆ්‍රෙශ් වෙනවා.

නිවාඩුව - අවුරුද්ද කියන්නෙ ගොඩක් අයට නිවාඩු ගන්න පුලුවන් කාල සමයක්. ඉස්කෝලෙත් නිවාඩු. හැබැයි ඒක සාපේක්ෂව කෙටි නිවාඩුවක්. එහෙම නිවාඩු නැති අය පවා පරණ අවුරුද්ද යෙදෙන දවසට දවසකට දෙකකට කලින් ඉඳලා නිවාඩු ගන්නවා. ඒ විදියට අවම දවස් 4ක් වත් නිවාඩුව හදාගන්නවා මොන ක්‍රමයෙන් හරි. මුලු අවුරුද්දටම එහෙම නිවාඩුවක් හම්බෙන එක වටිනවා.

නිවාඩු නැතුව අවුරුදු දවසෙත් අත්‍යාවශ්‍ය රාජකාරි කිරීම - පවුලෙ අය එක්ක අවුරුදු කන්න ලැබුණෙ නැතත් සේවා ස්ථානයෙම අවුරුදු සමරන එකත් වෙනම එක්ස්පීරියන්ස් එකක්. වෛද්‍යවරු හෙදියො ඇතුලු සෞඛ්‍ය සේවයෙ අය, ආරක්ශක අංශයෙ අය, ප්‍රවාහන ක්ශේත්‍රයෙ අය,  බැංකු සේවකයො,  මොන හේතුවකටවත් වහන්නෙ නැති කඩ සාප්පු වල වැඩ කරන අය ආදී නොයෙක් දෙනා අවුරුදු දවස් වලත් වැඩ කරනවා. හැබැයි ඒකට හිලව් වෙන්න වැඩිපුරත් එක්ක පස්සෙ නිවාඩු ගන්න එක පුරුද්දක්. අවුරුදු සමරන්නෙ නැති මුස්ලිම් හරි කතෝලික හරි කෙනෙක්ව  අවුරුදු දවසෙ සේවාස්ථානයෙ වැඩ මුරයට බිල්ලට දෙන එකත් වෙනම ගේමක්.

රෝලෙන් අවුරුදු කෑම - මැයි මාසෙ කියන්නෙ හොම්බෙන් යන මාසයක්. රජයෙ සේවකයන්ගෙ අප්‍රේල් මාසෙ පඩියත් කලින් දානවා. ප්‍රයිවට් අයත් ඇඩ්වාන්ස් ගන්නවා. ඒ ගන්න සල්ලි ඔක්කොම අවුරුදු නැකැත් දවස් ඉවර වෙනකොට ඉවරයි. නෑ නෑ කියලා බලන්නෙ නැතුව ගොඩක් අය අතදිග ඇරලා වියදම් කරන්නෙ මේ මාසෙ විතරයි. ඇති නැති සියල්ලොම තමන්ට දරන්න පුලුවන් ප්‍රමාණෙට වඩා වියදම් කරන බව නොරහසක්. සමහරු ණය වෙනවා, සමහරු ක්‍රෙඩිට් කාඩ් එකෙන් වියදම් කරනවා. ඇඳුම් ගන්න, ගෙදර දොරට බඩු ගන්න, පොඩියට රෙපෙයාර් එකක් කරන්න, හොඳට කන්න,බොන්න, නෑදෑ ගෙවල් වල යන්න හොඳට වියදම් කරනවා. අවුරුද්දකට සැරයක් හරි ආතතියක් නැතුව එහෙම වියදම් කරන එක, තමන්ගෙ පරිමාවෙන් එහා ජීවිතය රසවිඳින එක ඇත්තටම මරු වැඩක්.

මිනිස්සුන්ගෙ උද්‍යෝගය. -
අප්‍රේල් මාසෙ මිනිස්සුන්ගෙ පුදුම උද්‍යෝගයක් තියෙන්නෙ. දුප්පත් පොහොසත් බේදයකින් තොරව හැමෝම කාර්ය බහුල වෙනවා. මේක හොඳටම බලාගන්න පුලුවන් ටවුමෙ රෙදි කඩයකට ගියාම. පෝලිමේ ගිහින් රෙදි ගන්න කාලයක්. පොර කනවා. සිල්ලර බඩු කඩ, සුපර් මාකට්, සති පොලේ  එහෙමත් උතුරන්න සෙනග. ඔතෑනිව ගෙවල් වලට වෙලා හිටපු අය කඩිමුඩියෙ වැඩ කරනවා, ගමේ අය ටවුමට එනවා.. අවුරුදු උත්සව තියනවා. සංගීත සංදර්ශන තියනවා, කනවා බොනවා.  මිනිස්සු ෆුල් ෆන් එකේ ඉන්නවා.

'අලුත්' අවුරුදු දවසෙ චාරිත්‍ර-

බොහොම සුලු දෙනෙක් ඇරුණම ගොඩක් දෙනා මේ චාරිත්‍ර ටක්කෙටම කරන්නෙ නෑ. නැකත් තියෙන්නෙ කන ටයිම් එකක් කිට්ටුව නම් ලිපගිනි මෙලවීම, ආහාර අනුභවය වගේ දේවල් නැකතට කරයි. නොනගතය වෙලාවෙ පන්සල් ගියපු කාලයක් මතක නෑ. ඒ වෙලාවෙ ටීවී එක දාගෙන ජනාධිපති උතුමන් අවුරුදු කෑම මේසෙ ලෑස්ති කරන එක බලනවා. ගෑනු උදවිය කුස්සියෙ චිකන් ඩෙවල් හදනවා. පොඩි උන් ෆේස්බුක් එකෙයි වට්ස් ඇප් එකෙයි අවුරුද්දට මැසේජ් යවනවා.

ආහාර අනුභවයට කිරිබතක් හදනවා.
ලුණු මිරිසයි අච්චාරුවයි අනිවාර්යයයි. අතිරස , මුං කැවුම් , වගේ සම්ප්‍රදායික කෑම තියනවා. ඒත් ගෙදර බල්ලවත් කැවුම් කන්නෙ නෑ. වාසනා එකෙන් ගෙනාපු කේක් එකයි, කිවික් බීමයි තියනවා එන අමුත්තන්ට දෙන්න. ඒත් එන අමුත්තො ඔක්කොම එන්නෙ "අනේ තේ නම් බොන්න බෑ, බීපු ගමන් ආවෙ කියාගෙන" කැවුම් තියෙන්නෙ පත්තර කොලෙන් වහගෙන ළඟ ගෙවල් වලට අරන් යන්න. දුර නෑගම් යනකොට අරන් යන්නෙ අතින් අතට යන ටියාරා. නැකතට ආහාර අනුභවයෙන් පස්සෙ එන කෑම වේල තමා විශේෂම කෑම වේල. මොන සමාජ ස්ථරයක හිටියත් එහෙම විශේෂ කෑම වේලක් හදන එක අනිවාර්යයෙන්ම වෙනවා. සමහර විට එහෙම කෑම වේල් දෙක තුනක්ම හදන්නත් වෙනවා. බීමත් එහෙමයි.

අවුරුද්දෙන් පස්සෙ එන මුස්පේන්තු කාලය -

හේන් වලට කුඹුරු වලට පිටත් වෙන්න ඉස්සර නැකතක් හදලා තියෙන්න ඇති. දැන් ඒක රැකි රක්ශා සඳහා කියලා හරවගෙන. පස්සෙ සේවා අවශ්‍යතා සඳහා පිටත් වීම කියලා එකකුත් හදාගෙන. ඔය මොනා තිබ්බත් අපි වැඩට යන්නෙ අපිට ඕනෙ දවසට. දවස් හතරකට විතර පස්සෙ වැඩට ගියාම ගොඩ ගැහිලා තියන වැඩ ගොඩ දැක්කම කාපු අවුරුදු බඩ යනවා. ඩොක්ටර්ස්ලට නර්ස්ලට නම් අවුරුදුකාපු ලෙඩ්ඩු තොගය මැනේජ් කරන්න ලොකු වෙහෙසක් ගන්න වෙනවා. මම හිතන්නෙ හැම රස්සාවකම අවුරුද්දෙ න් පස්සෙ එහෙම ඇති. ඒ මදිවට අතේ සතේ නෑ. ඊලඟ පඩියට ගන්න කම් තව මාස දෙකක් ඉන්න වෙනවා.


ඔන්න ඕවා තමා දැන් අලුත් අවුරුද්ද කීවම මගේ නම් ඔලුවට එන්නෙ. ඒත් මේ මීඩියා වල උන්ටයි ඇඩ් කම්පැනි වල උන්ටයි ඔලුවට එන්නෙ ඉරයි, කොහායි, රබානයි, කජු පූලමයි, රන්වල බලකායයි වගේ ඒවා.

Comments

Popular posts from this blog

ලංකාවෙන් ඩෙංගු සදහටම තුරන් කරන්නේ මෙහෙමයි.

ඩෙංගු වසංගතය රටම වෙලාගෙන අවසන්ය . තව දුරටත් එය තදාසන්න ප්‍රදේශ වලට පමණක් සිමා වුන රෝගයක් නොවේ . මෙවර වසංගත තත්වයේදී මුලින් ම එය රටේ කොළඹ , ගම්පහ , කුරුණෑගල , වැනි දිස්ත්‍රික්ක වල පමණක් දක්නට ලැබුනත් පසුව එය වෙනත් නගරබද ප්‍රදේශ කරාත් පසුව ඈත ගම් දනවු වෙතත් පැතිර ගිය අකාරයක් දක්නට ලැබුනි .

කාන්තාවන් සුන්නත් කිරීම ගැන

නොබෝදා මුස්ලිම් කණ්ඩායම් කිහිපයක් එකතුව රජයෙන් සිදු කරන ලද ඉල්ලීමක් නිසා කාන්තාවන් සුන්නත් කිරීම ගැන කතාබහක් හිටි හැටියේම කරලියට පැමිණියේ ය.

බාබර් කස්ටමර් සර්විස්

මේ දවස් වල කස්ටමර් සර්විස් ගැන ලියන නිසා මේ කතාවත් මතක් වුනේ. මේක ටිකක් කාලෙකට කලින් සිද්ධ වුන දෙයක්. දවසක් කොණ්ඩෙ කපා ගන්න ගියා.