කතානායකයා -
ගුණයා හෙන හිත හොඳ එකාය. ළඟ පිකප් ය. උයන්න දක්සයා ය. ලූණු, තෙල් පෙරේතයාය. බැච්
එකේ ඕනෙම වැඩකදී ඇක්ටිව් ඩයල් එකකි. වෙලාවකට එපා වෙන තරමට ඇක්ටිව් ය.
ෆයිනල්
එක්සෑම් ඉවර වෙන දවසෙ හොස්ටල් එක එකම මගුල් ගෙදරක අසිරිය ගන්නවා. එදාට රාත්‍රිය
එලිවෙනකම් පාටි තමා. ඔක්කොම බැච් වලට කන්න බොන්න විනෝදය සපයන්න ඕනෙ. සම්පූර්ණ
අනුග්‍රහය ෆයිනල් බැච් එක දරන්න ඕනේ.
ඉතින් මේ
විදියෙ ෆයිනල් පාටියක් තියන්න එක්සෑම් යන අස්සෙම අපි ඕගනයිස් කර ගන්න වෙනවා. ඒකට
කන්න දෙන්නෙ මොනවද , බොන්න දෙන්නෙ
මොනවද, බයිට් මොනවද,
ෆන් අයිටම්ස් මොනවද
වගේ ඒවා ප්ලෑන් කරගන්න ඕනෙ. මේ ප්ලෑනින් වලට එක්සෑම් අස්සෙ උනත් අපි පොඩි පොඩි
මීටින් හොස්ටල් බ්ලොක් එකේම ගන්නවා.
එහෙම මීටින්
එකක් අරගෙන මේ අන්තිම පාටිය ප්ලෑන් කරගන්න බැලුවෙ. ඒකෙදි කන්න මොනවද දෙන්නෙ කියලා
කතා කරගන්න වෙලාවෙ කඩල තම්බලා තෙම්පරාදු කරලා දෙමුයි කියලා තීරණය කලා. කන්න වෙන
වෙන අයිටමුත් තියන නිසා, සාමාන්‍යයෙන්
කඩල කියන්නෙ එච්චරම ජනප්‍රිය කෑමකුත් නොවන නිසා කඩල වැඩිය ඕනෙ වෙන එකක් නෑ කියලා
තමා කතා උණේ. ඕක අස්සට ගුණයා පැනලා නාහෙන් අඬන්න ගත්තා. කඩල කිලෝ විස්සක් වත් ඕනෙ
වෙයි බං කිය කිය. අනිත් උන් කිව්වෙ කිලෝ පහක් ඇති කියලා. මූ පිලිගන්නෙම නෑ. පස්සෙ
කේවල් කරලා කරලා කිලෝ දහයකට කැමති කර ගත්තා..
මේවා උයන වැඩේ
වෙනදා වගෙම නිමල් අයියට දෙමුයි කියලා කතාවුණා. ඒකටත් මූ පැනලා අඬන්න ගත්තා. ඒ අපිම
උයමු බං. නිමලගේ උයන ඒවා හරි නෑ කියලා. ගුණයා කෝමත් උයන වැඩේට දස්සයා. ඒත් ප්‍රැක්ටිකලි
පාටිය තියන දවසෙ ඕව උයන්න වෙලාවක් එන්නෙ නෑ. මොකද කොමන් බැච් පාටි එක එදා හවස
ඉඳලාම තියන නිසා ඒ වැඩ වලට දුවන්න වෙනවා.
ඒක ඉවරවෙලා එද්දි කොහොමත් රෑ නවය වත් වෙනවා. ගුණයාට ඔය කතා කිව්වට මොරාල්
මනුස්සයා නිසා මිනිහා කැමතිම අපිම උයලා මල්ලිලට කන්න දෙන්න.
කෝම හරි පාටිය
දවස ආවා. ඊට කලින් දවසෙ බඩු ටික ගෙනල්ලා තිබුණෙ. ගුණයාට හොරෙන් බඩු ගේන උන්ට
කිව්වා කඩල කිලෝ දහයක් එපා පහක් ගෙනෙන් කියලා. ඒවා උයන වැඩේත් නිමල් අයියටමයි
පැවරුවෙ.
රෑ පාටිය
නැගලා ගියා. කට්ටිය හිතේ හැටියට කෑවා බීවා නැටුවා. පාන්දර තේ එකත් අපේ බ්ලොක්
එකෙන්ම බීලා එලිය වැටුනම තමා මල්ලිලා ටිකව එලව ගත්තේ. පාටිය පහුවදාත් දහය දොලහ
වෙනකම් ගියා. උදේ කොහොම හරි අස් පස් කරන වැඩ ටික පටන් ගත්තම තමා දැක්කෙ කඩල එකෙන්
බාගෙකටත් වඩා ඉතුරුයි. ලොකු සාස්පානක් පිරෙන්න කඩල තියනවා.
"බලපංකො කිලෝ
පහක් ගෙනල්ලත් මේක ඉතුරුවුණ හැටි , කොහොමද දහයක් ගෙනාව නම්.." කට්ටිය කතා වෙනවා.
"යමන්කො ඕක
ගුණයට පෙන්වන්න." කවුද මන්දා යෝජනා කරා.
කට්ටියම ඒ
භාජනේ උස්සගෙන ගුණයගෙ කාමරේ ගාවට අරන් ගියා. රෑ මහන්සියට මනුස්සයට නින්ද ගිහින්.
දොරට ගහලා නැගිට්ටුවා. මිනිහා දොර ඇරගෙන එනකොටම පේන්න දොරකඩින් කඩල බාජනේ තියලා
නෝන්ඩියක් දැම්මා.
" බලපන්කො උඹේ
කඩල එක. යකෝ උඹ කීවෙ කිලෝ විස්සක් ගේන්න කියලා. මෙතන පහක් ගෙනල්ලත් බාගෙකට වඩා
ඉතුරුයි."
පොර කඩල එක
දිහා වේගෙන් ඇහි පිල්ලම් ගහ ගහ බලන් හිටියා. බලාපොරොත්තු වුණ ලැජ්ජා මූණක් ආවෙ නෑ.
මූ එක පාරට
අපේ ඇඟට කඩා පාත් වුණා.
" ඒකනෙ &@%$#
කීවෙ. නිමලාට දෙන්න
එපා කියලා. ලූණු ටිකක් එහෙම වැඩිපුර දාලා හදලා ගත්තා නම් ඔය ටික කොල්ලො කනවානෙ!!
කොහෙද ඉතින් තොපි මට උයන්න දුන්නේ නෑනෙ. "

Comments
Post a Comment