නොබෝදා
මුස්ලිම් කණ්ඩායම් කිහිපයක් එකතුව රජයෙන් සිදු කරන ලද ඉල්ලීමක් නිසා කාන්තාවන්
සුන්නත් කිරීම ගැන කතාබහක් හිටි හැටියේම කරලියට පැමිණියේ ය.
පිරිමි දරුවන් සුන්නත්
කිරීම ගැන යම් අත්දැකීමක් ලාංකීය මුස්ලිම් සමාජය තුල තිබුණත් කාන්තාවන් සුන්නත්
කිරීමක් ලංකාව තුල පැවතියෝදෝ යන කුහුලක් මේ නිසා බොහොදෙනෙක් තුල ඇති වුණි. එම
මුස්ලිම් කණ්ඩායමේ ඉල්ලීම වී තිබුණේ සියලුම ආකාරයේ ස්ත්‍රී සුන්නත් කිරීම් තහනම්
කරමින් රජය විසින් මෑතකදී නිකුත් කල චක්‍රලේඛය හකුලා ගන්නා ලෙසට සහ සුන්නත් කිරීම්
සෞඛ්‍ය අංශවල මැදිහත් වීමක් සහිතව කරගැනීම සඳහා පහසුකම් සලසා දෙන ලෙසට යි. ලෝක
සෞඛ්‍ය සංවිධානය ඇතුලු සංවිධාන සහ දියුනු රටවල් සියල්ලම
පාහේ වෛද්‍ය මැදිහත් වීමක් සහිතව හෝ රහිතව සුන්නත් කිරීම තහනම් කරමින් සමාජයක් ලෙස
ඉවත දමමින් සිටින අවස්ථාවක ශ්‍රී ලංකාව වැනි සුන්නත් කිරීම එතරම් සුලබ නැති සමාජයක
මෙවැනි නීතිගත කිරීමකට ඉල්ලීම ගැන සමාජ විරෝධයක් මතු වීම ස්වභාවික ය. මේ ලිපියේ
අරමුණ වන්නේ ලෝකය පුරා කාන්තා සුන්නත් කිරීම ගැන මතුවී ඇති සාකච්ඡාව ලංකාවේ
සන්දර්භයට අදාලව විග්‍රහ කර ගැනීම යි.
ස්ත්‍රී ලිංගඡේදනය
යනු.
ඉස්ලාම්
යෙදුමක් භාවිතා කරමින් සුන්නත් කිරීම ලෙස පොදුවේ හැඳින්වුවත් එය විස්තර කරගැනීම සඳහා
කාන්තා ලිංගඡේදනය යන්න වඩා නිවැරදි යෙදුමක්
වේ. ලෝකයේ විවිධ රටවල් වල මෙම ලිංගඡේදනය වෙනස් වෙනස් ආකාර වලින් සිදු කෙරේ. සුලු
තුවාල කිරීමක සිට ඉතා දරුණු ප්‍රමාණයේ
ලිංගඡේදනයන් දක්වා මෙම ක්‍රියාවේ පරාසය විහිදේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තුව අනුව ලොව පුරා මිලියන 200ක් පමණ කාන්තාවන් හා
දැරියන් ලිංගඡේදනයට ගොදුරුව තිබේ. රටවල් 30ක එය මහා පරිමාණයෙන් කෙරීගෙන යන අතර
වැඩිවශයෙන් එයට ගොදුරු වන්නේ කුඩා ගැහැණු දරුවන් ය. සාමාන්‍යයෙන් ලිංගඡේදනය සිදු
කෙරෙන ප්‍රජාවන් විසින් එය සිදු කරනු ලබන්නේ මූලික සෞඛ්‍යමය තත්වයන්වත් ආරක්ෂා
නොකරමිනි. බොහෝ විට එය සිදු කරන්නේ වැඩිහිටි කාන්තාවක් හෝ ගමේ සිටින වින්නඹු
කාන්තාවක් මගින් ය. ඊට යොදාගන්නා උපකරණ සැත්කම් වලට ගැලපෙන ඒවා නොවේ. ක්‍රියාවෙන්
පසුව බොහෝ සංකූලතා ප්‍රමාණයක් මේ නිසා ඇති වේ. මේ හේතුවෙන් ලිංගඡේදනය වෛද්‍යමැදිහත්
වීමක් සහිතව සිදු කර ගතහොත් ගැටලුවකින් තොරව එම සම්ප්‍රදාය දිගටම පවත්වා ගත යුතු බවට
ලොව පුරා විවිධ සමාජ වලින් යෝජනා වී තිබේ. ඇතැම් රටවල් වල කාන්තාවන් එය වෛද්‍යවරයකු
හෝ ක්ශේත්‍රයට සම්බන්ධ කෙනෙක් ලවා කරගැනීමටත් පුරුදුව සිටින බව පැවසේ. නමුත් ලෝක
සෞඛ්‍ය සංවිධානය ඉල්ලීම් කරන්නේ කිසිදු වෛද්‍යවරයෙක්ට වෛද්‍යමය අවශ්‍යතාවක්
නොමැතිව කාන්තා ලිංගඡේදනය සිදු කිරීමෙන් වලකින ලෙසටයි. අප රට තුලද එසේ සිදු නොකරන
ලෙස අවවාද කරමින් නියෝග නිකුත් වන්නේ ඒ අනුව යමින් ය.
ලෝක සෞඛ්‍ය
සංවිධානය මෙම ලිංගඡේදනය මූලිකවම කාණ්ඩ 4 කට වර්ග කරයි
පලමු කාණ්ඩය - භගමනිය(clitoris)
ලෙස හැඳින්වෙන ලිංග
කොටස සම්පූර්ණයෙන්ම හෝ ප්‍රමාණයක් කපා ඉවත් කිරීම මෙයට අයිති වේ. ඉතා සුලු ප්‍රතිශතයක්
පමණක් සිදු කරන භගමනියට පිටින් ඇති සමේ කොටසක් ඉවත් කිරීමද මේ යටතට ගැනේ.
දෙවන කාණ්ඩය - භගමනිය සහ ස්ත්‍රී
ලිංගයේ ඇතුලත යෝනි තොල් (labia minora) ඉවත් කිරීම මෙයට අයත් ය. ඇතැම් ඇවස්ථාවල පිටත යෝනි තොල්ද (labia
majora) ඉවත් කිරීම සිදු කෙරේ.
තුන්වෙනි
කාණ්ඩය - භගමනිය,
යෝනි තොල් ඉවත් කර
යෝනි මාර්ගයේ විවරය වසා දමමින් මැසීම මෙම කාණ්ඩයෙන් විස්තර කෙරේ. අවසානයේ ඉතිරි
වන්නේ මූත්‍රා කිරීම හෝ ඔසප් වීම සඳහා පවා ප්‍රමාණවත් නැති කුඩා විවරයකි.
හතර වෙනි
කාණ්ඩය - අනෙක් කාණ්ඩ වලට අයත් නැති සියලුම ආකාරයේ කුඩා ප්‍රමාණයේ හානි කිරිම්
මෙයට අයත් ය. (උදා - පලුදු කිරීම, විදීම ආදිය)
ලිංගඡේදනය
සිදුකිරීමට හේතු
ලෝක සෞඛ්‍ය
සංවිධානය ඇතුලු විවිධ පාර්ශව මූලිකත්වයෙන් මේ පිලිබඳ වසර ගණනාවක සිට පර්යේෂණ සිදු
කර තිබේ. ඒවායින් හෙලි කරගත් තොරතුරු වලට අනුව ස්ත්‍රී ලිංගඡේදනයෙන් කිසිදු
වාසියක් සිරුරට ලැබෙන්නේ නැත. වෙන්නේ හානියක් ම පමණ ය. නමුත් සහශ්‍ර ගණනාවක් පුරා
මේ සම්ප්‍රදාය පවත්වාගෙන යාමට හේතුව වී ඇත්තේ සෞඛ්‍යයට ලැබෙන වාසියක් නිසා නොව
සංස්කෘතිකමය කාරණා ය.
බොහෝ ප්‍රජාවන්
ලිංගඡේදනය කරගෙන යන්නේ සම්ප්‍රදායක් ලෙසටය. කාලයක් තිස්සේ කරගෙන එන නිසාත් අනෙක්
අයත් කරන නිසාත් ප්‍රශ්න කිරීමකින් තොරව කරගෙන යාමට බොහෝ කණ්ඩායම් පුරුදුව තිබේ.
විවිධ සමාජ වල එම සම්ප්‍රදාය ගොඩ නැගීමට හේතු විග්‍රහ කරගැනීමේදී අපට හමුවන්නේ
ලිංගිකත්වය, කාන්තා නිදහස,
විවාහය, ළමා අයිතිවාසිකම්
පිලිබඳ අතිශය පසුගාමී විශ්වාසයන් ය. ඒවා මත පදනම්ව ගොඩ නැගුණු සම්ප්‍රදායක් දිගටම
පවත්වාගෙන ඒම ගැන එම සමාජ තුල විවේචනයක් ඇති වීම අත්‍යාවශ්‍යය. නමුත් අවාසනාවකට
ලිංගඡේදනය මුල් බැස ගෙන තිබෙන්නේ අප්‍රිකාව වැනි තවමත් ජීවන තත්ත්ව උසස් නොමැති
ගෝත්‍රික තත්ත්වයේ පවතින සමාජ තුලය.
අනවශ්‍ය කොටස්
කපා දැමීම මගින් ස්ත්‍රියව "පිරිසිදු" තත්වයට පත් කල හැකි බවට බොහෝ ප්‍රජාවන්
විශ්වාස කරයි. භගමනිය ලෙස හැඳින්වෙන කොටස පුරුෂ ලිංගයට අනුරූප ස්ත්‍රී ලිංගයේ කොටස
වේ. ලිංගික උත්තේජනයට එය වැදගත් ය. එය ඉවත් කිරීම මගින් ස්ත්‍රියගේ කාමාශාවන් අඩු
කරගත හැකි නිසා විවාහයට පෙර ලිංගික කටයුතු වල නිරත නොවේ යැයි වැඩිහිටියෝ උපකල්පනය
කරති. එම නිසා ලොව වැඩිපුරම දක්නට ලැබෙන ලිංගඡේදන කරමයක් ලෙස මෙම භගමනිය ඉවත්
කිරීම දක්නට ලැබේ. (පලමු කාණ්ඩය). මෙම විශ්වාසය උග්‍ර වීමෙන් උත්තේජනයට ආධාර වන
භගමනිය කපා දැමීමට අමතරව සම්පූර්ණ ලිංගය මසා දැමීමට ඇතැම් ප්‍රජාවන් පුරුදුව තිබේ.
(තුන්වන කාණ්ඩය) ලිංගික එක්වීමකදී එසේ වසා දැමූ යෝනිය විවෘත කිරීමට සිදුවේ. එය
කාන්තාවට ඉතා වේදනාකාරී ක්‍රියාවක් වන නිසා විවාහය තෙක් ලිංගිකව එක්වීමෙන් වැලකීම
සිදු වේ. එවැනි කාන්තාවක් විවාහයේදී පුරුෂයා සමග එක්වීම සඳහා වසා දැමූ යෝනිය තුවාල
කර පාදා ගැනීමටද සිදුවේ. ඇතැම් සමාජ වල දරු උපතකින් පසුව නැවතත් යෝනි මාර්ගය වසා
දැමීමද සිදු කෙරේ. මේ සියල්ලගෙන්ම හෙළිවන කරුණ නම් එම සම්ප්‍රදායන් වලට මුලික වී තිබෙන්නේම
ලිංගිකත්වය, විවාහයට පෙර ලිංගිකව එකතු වීම, තම ශරීරය පිලිබඳ කාන්තාවන්ට සහ දරුවන්ට
තිබෙන අයිතිය ආදී අදහස් වල ප්‍රාථමික බවයි.
ලිංගඡේදනයේ ප්‍රතිවිපාක.
ලිංග ඡේදනය යනු
ස්වභාවයෙන්ම අතිශය බිහිසුණු, අමානුෂික ස්වභාවයක් ගන්නා කර්තව්‍යයකි. එමගින් සිදුවන
ප්‍රතිවිපාක, සංකුලතා බොහොමයකි. ඒවා කෙටිකාලින මෙන්ම දිගුකාලින සංකුලතා වෙයි. කෙටි
කාලීනව සිදුවන සංකුලතා ලෙස අධික වේදනාව, රුධිරය වහනය වීම, තුවාල විෂබීජ වලින්
ආසාදනය වීම, මුත්‍රා කිරීමේ ගැටළු ආදිය මතුවේ. එම සංකුලතා මගින් ඇතැම් විට ජීවිතය පවා
හානි වීමට සිදු වේ. වඩාත් බැරෑරුම් වන්නේ දිගුකාලින
බලපෑමයි. ලිංගඡේදනය නිසා ඇතිවන දිර්ගකාලින ගැටළු සමග කාන්තාවකට තම ජිවිත කාලයම ගත කිරීමට
සිදු වේ. සෑම ලිංගික එක්විමකදිම, දරු ප්‍රසුතියකදිම, ඔසප් වීමේදී වේදනා විඳීමට සිදු
වේ. උත්තේජනය සඳහා වැදගත් වන අවයව කොටස් ඉවත්
කිරීම නිසා ලිංගිකව එක්වීම ඇයට ගැටළුවක් වේ. තුවාල සනීප වන විට ඇතිවන කැළැල් නිසාද
ලිංගිකව එක වීම වේදනාබර වේ. ලිංගඡේදනය තුන්වන කාණ්ඩයේ ආකාරයට සිදුකළහොත් ලිංගිකව එක්වීමට
පෙර යෝනිමාර්ගය විවෘත කිරීම ඉතා වේදනාකාරී අත්දැකීමක් වේ. එපමණක් නොව එවන් කාන්තාවන්ගේ මුත්‍රා කිරීම,
ඔසප් වීම, පවිත්‍රතා කටයුතු ආදිය වේදනාව ඉවසාගෙන සිදුකල යුතු කාර්යයන් වේ. ලිංග ඡේදනය
කල කාන්තාවන්ට දරු ප්‍රසුතිය සිදු කිරීම අපහසුය.
ඔවුන්ගේ ප්‍රසුතියේදී මවට මෙන්ම දරුවාටද අහිතකර ප්‍රතිපල ඇති වන බවට සාක්ෂි ඇත.
ලෝකයේ තත්ත්වය
ලෝකයේ දියුණු රටවල්
සහ විවිධ සංවිධාන දීර්ඝ කාලයක සිට මෙම සම්ප්‍රදාය නැවත්වීම වෙනුවෙන් කටයුතු කරගෙන යනු
ලබයි. මෙයින් ඉදිරියෙන්ම සිටින්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයයි. ඔවුන් විසින් 2008 වසරේදී
විද්‍යාත්මක කරුණු අඩංගු සවිස්තරාත්මක වාර්තාවක්
ඉදිරිපත් කරමින් මෙම සම්ප්‍රදාය නැවැත්වීමේ වැදගත්කම අවධාරණය කරනු ලැබීය. 2010 දී ඊට
අනුබද්ධ ආයතන රැසක් සමග එක්ව තම සාමාජික රටවල් වල එය නැවත්වීම උදෙසා වන සැලැස්මක් ඉදිරිපත්
කරනු ලැබී ය. 2012 එක්සත් ජාතීන්ගේ සම්මේලනයේදී සම්මත කර ගත් යෝජනාවක් අනුවත් ස්ත්‍රී
ලිංගඡේදනය නැවත්වීමට රටවල් එකඟ වී තිබේ. මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ දියුණු ලෝකය තුල
කිසිදු ආකාරයේ පිළිගැනීමක් මෙම සම්ප්‍රදාය කෙරෙහි නොමැති බවත් එය තුරන් කිරීම සඳහා
ලෝකයම පෙළ ගැසෙන බවත් ය.
ලංකාවේ තත්ත්වය
2008 දී ලෝක සෞඛ්‍ය
සංවිධානය නිකුත් කල ශ්‍රීලංකාවේ ප්‍රචණ්ඩත්වය සහ සෞඛ්‍යය පිලිබඳ වාර්තාවේ දැක්වෙන්නේ
ශ්‍රී ලංකාව තුල ස්ත්‍රී ලිංග ඡේදන සම්ප්‍රදායක් නොමැති බවයි. කෙසේ නමුත් ලෝක සෞඛ්‍ය
සංවිධානයේ නිර්දේශ අනුව යමින් ලංකාව තුල කිසියම් හෝ ආකාරයකට ස්ත්‍රී ලිංගඡේදනයක් සිදු නොකරන ලෙස සෞඛ්‍ය ක්ෂේත්‍රයේ
අය වෙත රජය විසින් පසුගියදා චක්‍රලේඛයක් නිකුත්
කරන ලදී. මුස්ලිම් කණ්ඩායම් කිහිපයක් විසින් ඊට විරෝධය දක්වමින් සහ සෞඛ්‍ය අංශයේ මැදිහත්
වීමක් සහිතව ස්ත්‍රී ලිංග ඡේදනය කරගැනීමට ඉඩ සලසන ලෙසට ඉල්ලීමක්ද කර තිබුණි.
සාමාන්‍ය නිරීක්ෂණය
අනුවද ලංකාව තුල ස්ත්‍රී ලිංගඡේදන සම්ප්‍රදායක් සුලබව සිදු වන්නේ නැත. එසේ සිදුවනවා
නම් එයට ලක් වන කාන්තාවන් මුහුණ දෙන සංකුලතා වෛද්‍යවරුන් විසින් නිරීක්ෂණය කරනු ලැබ
ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරනු ඇත. මුස්ලිම් ජනතාව බහුල ප්‍රදේශ වල සේවය කරන වෛද්‍යවරුන්
පවා නාරිවේද සායන, සුවනාරි සායන වලදී හෝ සාමාන්‍ය දරු ප්‍රසුති වලදී එසේ ලිංගඡේදනයට
ලක් වූ කාන්තාවන් දැක නැත. එම ඉල්ලීම් කරන කණ්ඩායම් පවසන ආකාරයේ ලිංගඡේදනයක් වුවත්
සිදුවනවා ඇත්තේ ප්‍රදේශ කිහිපයක සුළු ජනකොටසක්
අතරේ පමණක් විය හැකිය.
ලෝකයේ අප්‍රිකාව,
මැදපෙරදිග සහ ආසියාවේ සමහර රටවල් වල සෞඛ්‍ය අංශයේ මැදිහත් වීමක් සහිතව ලිංගඡේදනය සිදු
කරන බව සැබෑවකි. නමුත් ඒ රටවල් වල ඒවා එසේ සිදුකරන්නේ එම සම්ප්‍රදාය ඉතා විශාල සෞඛ්‍ය
ගැටළුවක් බවට පත්ව තිබෙන නිසාය. එම සම්ප්‍රදාය නිසා එම රටවල් වල කාන්තාවන්, කුඩා දරුවන්
විශාල සෞඛ්‍ය සහ සමාජයීය ගැටළු වලට මුහුණ දෙන නිසාය. ඒ වෙනුවෙන් ගතහැකි සියලු ක්‍රියාමාර්ග
ගෙන ඒවා ව්‍යර්ථ වී තිබේ. එපමණක් නොව එම සම්ප්‍රදාය නිතියෙන් තහනම් කිරීම නිසා හොර රහසේ පවත්වාගෙන යාමත්
සන්කුලතාවලට ප්‍රතිකාර ගැනීම සඳහා ඉදිරිපත් වීමට කාන්තාවන් බියක් දැක්වීමත් සිදු වේ.
එම නිසා කලහැකි අන් යමක් නොමැති තැන එම රටවල් වල බලධාරීන් එම සම්ප්‍රදාය නීතිගත කර
සෞඛ්‍ය අංශවල මැදිහත් වීමක් සහිතව කර ගැනීමට ඉඩ කඩ සපයා දී තිබේ.
ලංකාව තිබෙන්නේ
එතන නොවේ. අප රටේ ස්ත්‍රී ලිංගඡේදනය යනු තවමත් දැවෙන සෞඛ්‍ය ගැටළුවක් නොවේ. යම් හෙයකින්
එවන් සම්ප්‍රදායක් තිබුනත් ඒවා නීතිගත කරනවාට වඩා ඒ වෙනුවෙන් ගත යුතු පියවර රැසක් තිබේ.
අප්‍රිකානු රටවල් අනුව යමින් එම සම්ප්‍රදාය නීතිගත කර , රෝහල් වල ඒ සඳහා පහසුකම් සැලසීමට
පියවර ගත හොත් අනවශ්‍ය අවධානයක් යොමුවී නැති පුරුද්දක් සමාජයේ ඇති වනු ඇත. ඇතැම් විට
මෙම ඉල්ලීම් වල යටි අරමුණ එය වීමටද ඉඩ ඇත.
ඕනෑම සෞඛ්‍ය ප්‍රශ්නයක්
දෙස නිදහස්, ලිබරල් ඇසකින් බැලීම වැරද්දක් නොවේ. සෞඛ්‍යයට හානිකර පුරුදු නිතිය මගින්
තහනම් කිරීම නොව සෞඛ්‍යයට හානිය අවම වන ලෙස සිදු කිරීමට පහසුකම් සැලසීම ලෝකයේ දැන්
දැන් භාවිතා වන සංකල්පයකි. මත්ද්‍රව්‍ය, ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග, හානිකර
ගබ්සාව වැනි ගැටළු වලට සාර්ථක විසඳුම් එම සංකල්ප හරහා නිර්මාණය කරගෙන තිබේ.
කිසියම් ප්‍රශ්නයකට අවශ්‍ය විසඳුම තෝරාගැනීමට අයිතිය ඇත්තේ ප්‍රශ්නය තිබෙන පුද්ගලයාටම
ය. ඉහත කී මත්ද්‍රව්‍ය වැනි ගැටළු වලට ගන්නා ලිබරල් විසඳුම් වල ගැටළුවක් නැත්තේ ඒ නිසාය.
නමුත් එවැනි ප්‍රවේශයක් ස්ත්‍රී ලිංගඡේදනය සම්බන්ධයෙන් ගත හැකි නොවන්නේ එය බහුලවම සිදු
කරන්නේ කුඩා දරුවන්ට නිසා ය. දරුවන්ගේ ශරීරය ගැන අනෙක් අයට තීරණ ගැනීමේ අයිතිය සම්බන්ධ
සිමාවන් පවතී. ලිංගඡේදනය යනු ඒ සීමාවට වඩා බොහෝ දුර තිබෙන අමානුෂික ක්‍රියාවකි.
ආගමික හෝ වෙනයම් විශ්වාසයක් මත පදනම්ව කුඩා දරුවන්ගේ සිරුරට එවැනි ක්‍රියාවක් සිදු
කිරීමේ කිසිදු අයිතියක් මව් පියන්ටවත් නැත.
සංවාදයට විවෘතය
By Hasinda Udalagama
Comments
Post a Comment