Skip to main content

රසදිය පිරි ආනයනික ‘සුදු කරන ක්‍රීම්’





ඇය යන්තම් විසිවන වියට පා තැබුවා පමණි. පාසලින් බැහැර වුවත්  අධ්‍යාපනික කටයුතු තවමත් කරගෙන යයි. ඇගේ සම උපතින්ම පැහැපත් නැත. මුහුණ අඳුරු වර්ණයක් ගනී. නිතරම අනෙක් තරුණියන්ගේ මුහුණ සමග ඇගේ මුහුණ සන්සන්දනය කරමින් පසුතැවෙයි.
රුපවාහිනියේ වෙළඳ දැන්වීම් වලින් පෙන්වන නොයෙක් ආලේපන උත්සාහා කර බැලුවද ඒවායින් නිසි ප්‍රතිපලයක් ඇයට ලැබුනේ නැත. මේ අතර ඇය මෙන්ම අඳුරු පැහැ සමක් තිබුණු මිතුරියක් ඇයට වෙනස් විදියේ ආරංචියක් ගෙන ආවාය.
“ ඉම්පෝර්ට් කරපු වයිට්නින් ක්‍රීම් ජාතියක් තියනවා ට්‍රයි කරලා බලන්න. මාව නම් සති දෙකෙන් සුදු වුණා. “

එතැන් පටන් ඇය ඒ පිලිබඳ සොයන්නට විය. පුවත් පත් වල පිටු පුරවමින් එවැනි ආනයනික ආලේපන ගැන වෙළඳ දැන්වීම් තිබෙනු ඇයට දකින්නට ලැබුණි. අන්තර්ජාලයේ භාණ්ඩ විකුණන වෙබ් අඩවි සහ ඇප් වල එම භාණ්ඩය විකුණන ඒජන්ත වරුන් ඇයට පෙනුනි. නගරයේ වෙළඳ සල් වල, බස් නැවතුමේ කඩවල් වල, එවැනි ක්‍රීම් වර්ග එලියට පෙනෙන්නම තබා තිබෙනු ඇයට දිස්විය. නොයෙක් මිතුරියන් ඇයට විවිධ ආලේපන පිලිබඳ සහතික දෙන ලදී. අවසානයේ ඇයද ක්‍රීම් වර්ගයක් උත්සාහ කර බැලීමට තීරණය කලාය.


මේ කතාව මෙම ලිපිය කියවන කාන්තාවන් බොහෝ දෙනෙකු අත් දැක හෝ අසා ඇති කතාවක් විය හැකිය. උපතින් ලද සමේ වර්ණය ප්‍රශ්නයක් කරගෙන එය වෙනස් කිරීමට උත්සාහ දැරීම ආදී කාලයේ සිටම කාන්තාවන් අතර තිබු පුරුද්දකි. එහි වැරද්දක් නැත. නමුත් ඒ ආසාවෙන් අනියම් ප්‍රයෝජන ගන්නා ජාවාරම් කරුවන් අද දින වන විට විවෘත වෙළඳ පොලේ දක්නට ලැබීම ගැටලුවකි.

සම පැහැපත් කරන ආලේපන වර්ග යනු සාර්ථක ව්‍යාපාරයකි. නමුත් නිසි විද්‍යාත්මක ක්‍රම වේදයකින් තොරව නිපදවන ආලේපන නිසා සමටත් සිරුර අභ්‍යන්තරයටත් සිදුවිය හැකි හානි බොහොමයක් තිබේ. මේ නිසාම නිෂ්පාදනයේ සිට අලෙවිය දක්වා නිසි නියාමනයක් මෙම ව්‍යාපාරයට තිබීම අත්‍යාවශ්‍යය. මේ නිසාම ලෝකය පුරා ආලේපන සඳහා සම්මත ප්‍රමිතීන් රැසක් නීති ගත කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ඒ සම්බන්ධයෙන් ප්‍රමිතීන් සකස් කර තිබේ.  ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන වැනි ආයතන හරහා ශ්‍රී ලංකාවද ඒ සම්බන්ධ ප්‍රමිතීන් සකස් කරගෙන ඇත. නමුත් නියාමනයේ තිබු ඇතැම් අඩු ලුහුඬු කම් නිසා නීතියේ හිඩැස් වලින් රිංගා බාල වර්ගයේ ආලේපන ලංකාවට පැමිණ තිබේ. කෙසේ හෝ නුදුරු අනාගතයේදීම එවැනි නිෂ්පාදන නියාමනය ශක්තිමත් කිරීමට රජය පියවර ගෙන ඇති බව අසන්නට ලැබේ.

දැනට ආනයනික ආලේපන වල තිබෙන විශාලතම ගැටලුව වන්නේ එහි ඇති රසදිය ප්‍රමාණයයි. සාමාන්‍යයෙන් රසදිය යනු ශරීරයට ඉතා අහිතකර මුලද්‍රව්‍යයක් නිසා ආහාර පාන වල, රුපලාවන්‍ය ද්‍රව්‍ය වල ඇති රසදිය ප්‍රමාණය පිළිබඳව නිරන්තරයෙන් සැලකිලිමත් විය යුතුය. අප රටේ නියාමනයේ හිඩැස් අතරින් රිංගමින් මෙරටට ආනයනය කෙරුණු රුපලාවන්‍ය ආලේපන වල අඩංගු රසදිය ප්‍රමාණය පිලිබඳ සැකය කාලයක් තිස්සේ බොහෝ දෙනාගේ සිත් තුල තිබිණි. නගර බද මෙන්ම ගම්බද පවා තරුණියන් උමතුවෙන් මෙන් පාවිච්චි කරන්නට පෙළඹුණු මෙම ආනයනික ආලේපන ඉතා කෙටි කලකින් ජනප්‍රිය වුණේ අඳුරු පැහැති සම සුදු පැහැයට හැරවීමේ හැකියාවක් ඇත්ත වශයෙන්ම එම ආලේපන වලට තිබු නිසා ය. එසේ වීමට හේතුව එම ආලේපන වල තිබෙන අධික රසදිය සාන්ද්‍රණයයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර තිබෙන රුපලාවන්‍ය ආලේපනයක් සතු රසදිය ප්‍රමාණය ආලේපන කොටස් මිලියනයකට රසදිය කොටස් එකක් වැනි ඉතා කුඩා අගයකි. වෙනත් වචනයකින් කිවහොත් ආලේපන කිලෝග්‍රෑම් එකක (මිලිග්‍රෑම් මිලියනයක ) තිබිය හැක්කේ රසදිය මිලිග්‍රැම් එකක් පමණයි. මේ තරම් කුඩා අගයක් අනුමත කර ඇත්තේ රසදිය ආලේපන සඳහා අමුද්‍රව්‍යයක් ලෙස යොදා ගැනීම වැලැක්වීම සඳහාම ය. ශ්‍රී ලංකාවේ අනුමත ප්‍රමිතියද මේ ප්‍රමාණයම ය. නමුත් වෙළඳපොලේ තිබෙන ආනයනික ආලේපන බොහොමයක් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහතිකය ලබාගෙන නැත.

මේ සමබන්ධව සිදු කල පර්යේෂණ වලින් හෙළි කර ගත් කරුණු විස්මය උපදවන සුළුය. එවන් ආනයනික ක්‍රීම් වර්ග වල තිබෙන රසදිය ප්‍රමාණය පිලිබඳ පරීක්ෂණ කිහිප වතාවක් සිදු කෙරී ඇත. එම පරීක්ෂණ වලින් හෙළිව ඇත්තේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහතිකය නොගත් ආලේපන සියල්ලගේම පාහේ තිබෙන රසදිය ප්‍රමාණය නියමිත ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බවයි. කිලෝග්‍රෑමයට තිබිය යුතු රසදිය ප්‍රමාණය මිලිග්‍රෑම් එකක් වුවත් ඇතැම් ආලේපන වල මිලිග්‍රෑම් 30000ක් පමණ තිබෙන බව හෙළිව තිබෙනවා.




රසදිය වල තිබෙන සම සුදු කිරීමේ රහස කුමක්ද? රස දිය යනු තරලමය ස්වරුපයෙන් තිබෙන ලෝහයකි. එය සෛල වල තිබෙන ලිපිඩ අණු සමග බැඳීමට ලැදියාවක් දක්වන නිසා ඉක්මනින් සිරුර තුලට අවශෝෂණය වී සෑම පටකයක් වෙතම ගමන් කිරීම සිදු කරයි. රසදිය මගින් සමේ ඇති මෙලනින් නම් වර්ණකය නිෂ්පාදනය වීම වලක්වයි. මෙලනින් යනු සමේ අඳුරු පැහැයට හේතුවන වර්ණකයයි. සුදු වීම පිටුපස තිබෙන රහස මෙය ය. නමුත් මෙලනින් නිෂ්පාදනය වැලැක්වීමෙන් පමණක් රසදිය වල කාර්යය අවසන් වන්නේ නැත.
පෙර සඳහන් කලාක් මෙන් සමට ආලේප කරන ක්‍රීම් වල තිබෙන රසදිය සිරුරේ සෑම පටකයකටම පැතිරෙයි. මේවායිනුත් ප්‍රධානම බලපෑම ඇති වන්නේ ස්නායු පද්ධතියටයි. මොලය සහ පර්යන්ත ස්නායු පද්ධතියට ඇති කරන බලපෑම හේතුවෙන් මතකය අඩු වීම,බුද්ධිය අඩු වීම, මානසික රෝග, වෙව්ලීම, පෙනීමේ ගැටළු, මාංශ පේශි අක්‍රිය වීම ආදිය ඇතිවිය හැකියි. මීට අමතරව වකුගඩු, හෘදය, පෙනහළු, ආහාර මාර්ගය, ප්‍රතිශක්ති පද්ධතිය යනාදී සිරුරේ අවයව පද්ධති වලට ද බලපෑම් ඇති කරයි. වඩා දරුණු තත්වය නම් ගර්භනී අවධියේදී මෙසේ රසදිය සිරුරට ඇතුළු වුවහොත් එය කලලයටද බලපෑම් ඇති කර උපදින දරුවාගේත් ස්නායු ආබාධ, හෘද රෝග ආදී සංකුලතා ඇති කිරීමයි.

නියාමන නීති රීති වල ඇති දුර්වලතා වලින් අනිසි ප්‍රයෝජනය ගත් ජාවරාම් කරුවන් විසින් මෙවැනි බාල වර්ගයේ ආලේපන දැනටත් වෙළඳ පලේ අලෙවි කරමින් සිටි. ඒවයේ ලේබල් බොහෝ විට තිබෙන්නේ අරාබි හෝ චීන අකුරු වලිනි. SLS හෝ වෙනයම් පිළිගත් ප්‍රමිති සහතිකයක් නැත. ආනයන කරුවකුගේ නමක් සඳහන් නැත. අන්තර්ගත ද්‍රව්‍ය පිලිබඳ නිසි සඳහනක් නැත. පාරිභෝගික සේවා ඇමතුම් අංකයක් සඳහන් නැත. මෙකි කරුණු වලින් එවැනි ආලේපන හඳුනා ගැනීම එතරම් අපහසු නොවේ. නොවැම්බර් පළමුවනදා සිට එවැනි ආලේපන අලෙවි කරන්නට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව බලධාරීන් ප්‍රකාශ කරයි. ඒ වනතුරුත් ඒවා අලෙවි කරන්නන්ට හසු නොවීමට වගබලා ගැනීම දැනුම් තේරුම් ඇති සැමගේ වගකීමකි.

Comments

Popular posts from this blog

ලංකාවෙන් ඩෙංගු සදහටම තුරන් කරන්නේ මෙහෙමයි.

ඩෙංගු වසංගතය රටම වෙලාගෙන අවසන්ය . තව දුරටත් එය තදාසන්න ප්‍රදේශ වලට පමණක් සිමා වුන රෝගයක් නොවේ . මෙවර වසංගත තත්වයේදී මුලින් ම එය රටේ කොළඹ , ගම්පහ , කුරුණෑගල , වැනි දිස්ත්‍රික්ක වල පමණක් දක්නට ලැබුනත් පසුව එය වෙනත් නගරබද ප්‍රදේශ කරාත් පසුව ඈත ගම් දනවු වෙතත් පැතිර ගිය අකාරයක් දක්නට ලැබුනි .

කාන්තාවන් සුන්නත් කිරීම ගැන

නොබෝදා මුස්ලිම් කණ්ඩායම් කිහිපයක් එකතුව රජයෙන් සිදු කරන ලද ඉල්ලීමක් නිසා කාන්තාවන් සුන්නත් කිරීම ගැන කතාබහක් හිටි හැටියේම කරලියට පැමිණියේ ය.

මේ රට මගෙ රට

" මේ රට මගෙ රට මා ඉපදුන රට හැදෙන වැඩෙන රට මගේම මවු රට" මට සාමාන්‍යයෙන් දේශාභිමානී ගී දිරවන්නෙ නෑ...