Skip to main content

ගලහෙන් ඉගෙන ගැනීම





වලිප්පුව සෑදී පැමිණි දරුවකු මියයාම මූලික කරගෙන ගලහ රෝහලේදී ඇතිවූ කලබලය හමුවේ ප්‍රකෝප වූ ගම්වාසීන් රෝහලට පහර දීම පසුගිය දිනවල දැඩි කතාබහට ලක් විය.  
 පොලිසිය මැදිහත්වීමෙන් ඒ අවස්ථාව පාලනය කලත් මේ වනවිට එම රෝහලේ සිටි වෛද්‍යවරුන් ද වෙනත් රෝහලකට මාරු කර යවා රෝහල අකර්මණ්‍ය තත්වය පවතී. මේ පසුබිම තුල විවිධ කෝණ වලින් සිදුවීම විග්‍රහ කිරීමට බොහෝ දෙනා පෙලඹී ඇත. වෛද්‍යවරුන්ගේ පාර්ශවයෙන් එම සිදුවීම ගැන වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීම්, පහර දීමට වගකිව යුතු අයව අත්අඩංගුවට ගැනීමට බල කිරීම්, වෛද්‍යවරුන්ගේ සහ රෝහල් කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීමේ වැදගත්කම යනාදිය ගැන ,මත  පල වෙද්දී , තවත් පාර්ශව සිදුවීමට අදාලව සහ නොමැතිව වෛද්‍ය ක්ශේත්‍රය විවේචනය කිරීමට ඉක්මන් වන බවක්ද පෙනෙන්නට තිබුණි.

කිසියම් සිදුවීමක් විග්‍රහ කරගත යුත්තේ තනි සිදුවීමකට වඩා පවතින සන්දර්භයද සැලකිල්ලට ගෙන බව මගේ පිලිගැනීම වේ. එපමණක් නොව තමා නියෝජනය කරන ක්ශේත්‍රයේ සිදුවීමක් හෝ කරුණක් ගැන මතයක් පල කිරීමේදී   හැඟීම්බර වනවාට වඩා හැඟීම් වලින් ස්වායක්තව අදහස් තෝරාබේරා ගැනීමේ වැදගත් කමද අවධාරණයෙන් සැලකිල්ලට ගත යුතුය. එසේ කිරීම දුෂ්කරය. නමුත් අවසානයේ ඉදිරිගාමි, ප්‍රයෝජනවත් අදහසක් සමාජයට එකතු කිරීමට නම් හැඟීම් සහ තර්ක බුද්ධිය අතර විසංවාදය වැදගත් වේ.

ගලහ යනු තනි සිදුවීමක් නොව සිදුවීම් පෙලක එක තැනක් පමණක් බව

වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ බොහෝදෙනා ගලහා සිදුවීම වෛද්‍ය විද්‍යාත්මකව පැහැදිලි කිරීමට වෙහෙස වීම දක්නට ලැබුණි. එම දරුවාගේ රෝගී තත්වය, ලබා දුන් ඖෂධය, පිලිගත් ප්‍රතිකාර ක්‍රම, සංකූලතා ඇති වුණ ආකාරය සහ ඒවාට මුහුණ දුන් ආකාරය ආදී විෂය කරුණු සහිත පැහැදිලි කිරීම බෙදාහැරෙන්නට වුණි. එවැනි කරුණු ගැන සාමාන්‍ය ජනතාවගේ දැනුවත් කම පහල අඩියක පවතී. ඒ නිසා එවැනි සිදුවීමකින් පසුව මහජන අවබෝධය වැඩි කීමට යම් මැදිහත් වීමක් අත්‍යාවශ්‍ය ය. ගැටලුව වන්නේ එවන් පැහැදිලි කිරීමකින් බලාපොරොත්තු වන්නේ ප්‍රශ්නයේ විවිධ පැතිකඩවල් අඳුරු කර එක් තැනකට පමණක් චෝදනාව එල්ල කිරීම නම් එකී බලාපොරොත්තුව හුදෙක් ආත්මාර්ථය වෙනුවෙන් යැයි හැඟීමක් සමාජයේ ඇති වීම යි. සිදුවීම ගැන මහජන විරෝධය එල්ල වන්නේ එම තනි සිදුවීම ගැන මහජනයාගේ තිබෙන නොදැනුවත් කම නිසා බවට මතයක් සමාජගත වෙමින් තිබේ. නමුත් සත්‍යය ඊට වඩා සංකීර්ණ ය.

ගලහ සිදුවීමට පෙර වෛද්‍ය වරුන්, වෛද්‍ය  සිසුන් වැනි විවිධ පාර්ශව වලින් ගුණාත්මක වෛද්‍ය ක්ශේත්‍රයක වැදගත් කම ගැන බරපතල චිත්‍රයක් සමාජය හමුවේ තැබූහ. ඒ පුද්ගලික වෛද්‍ය විද්‍යල වලින් වෛද්‍යවරුන් බිහි වුවහොත් ඔවුන් රෝගී ජීවිත බිල්ලට ගනු ඇති බවට කෙරුණු අනාවැකි පල කිරීම් සමග ය. ගුණාත්මක වෛද්‍යවරයා සහ ගුණාත්මක සෞඛ්‍ය සේවාව ගැන සමාජ සම්මතයන් නිර්මාණය කිරීමට උත්සාහ කලේ ඔවුන්ම ය. යම් හේතුවකට වෛද්‍යවරයෙක් අතින් සිදුවිය හැකි වැරැද්දක් හෝ අතපසු වීමකට වෙනස්, භාවතිශය මුහුණුවරක් දුන්නේ ඔවුන්ම ය. එවන් වරදක් අතපසු වීමක් හෝ මානුශීය වරදකට (human error) එහා ගිය “සුදුසුකම් නොලැබීම නිසා/ හොර වෙදෙක් වීම” නිසා සිදුවිය හැකි සාපරාධී ක්‍රියාවක් ලෙසට අර්ථ වෙනස් කලේ ඔවුන්ම ය.  ඊට පෙර සමාජයේ වෛද්‍යවරයකු අතින් සිදුවන වරදක් දෙස මෙවන් සාපරාධී කෝණයෙන් බැලූ අවස්ථා අඩු ය. ඊට හොඳ නිදසුනක් ලෙස මීට අවුරුදු කිහිපයකට පෙර ඇඟලුම් සේවිකාවක්  මීගමුව මහ රෝහලේදී මිය ගිය සිදුවීම ගත හැකිය. ඇත්තටම සාපරාධී ස්වභාවයක් තිබී වුවද එකල එම සිදුවීම අලලා සමාජ විරෝධයක් මතුවුනේ නැත. එම  සිදුවීමම අද දින සිදුවුණා නම් ගලහ සිදුවීමේ භයානක මුහුණුවරක් අපට මීගමුව රෝහලේදී දැකගන්නට හැකිව තිබුණි. මේ අප අත්විඳින්නට පටන් ගත්තේ වෘත්තිය සුදුසුකමකට භාවයන් ආරෝපණය කිරීමේ ආදීනවයන් ය.

වෛද්‍යවරුන් දිගින් දිගටම සමාජයෙන් විතැන් වීම.

එකී දරුවාට සේලයින් නොදීම ගැන පිලිබඳ සාමාන්‍ය වැසියන් කරන චෝදනාව ගැන හාසෝත්‍යාපාදිත කතා බොහොමයක් අසන්නට ලැබිණ.  දරුවාගේ ස්වසනය අක්‍රිය වූ පසු ලබා දෙන මූලික ප්‍රතිකාර වලට බාධා පැමිණවීම ගැනද ඒ ආකාරයේම කතා මතු විය. ඒ ආකාරයෙන් සිදුවීම ගැන වෛද්‍යවරුන්, ප්‍රමුඛවම සමාජ මාධ්‍ය හරහා සිදු කල කරුණු දැක්වීම් වලින් පැහැදිලි වන කාරණයක් තිබේ. එනම් කුලකයක් ලෙස වෛද්‍ය ප්‍රජාව ක්‍රම ක්‍රමයෙන් සාමාන්‍ය ජනයාගෙන් ඈත්ව පොදු සමාකයෙන් පරිබාහිරව කටයුතු කිරීමට පටන් ගෙන තිබීම යි. එම තත්වය වඩාත් දුරදිග ගොස් තම කණ්ඩායම හැර අනෙක් සියලු සමාජය තමාට එදිරිවාදී පිරිසක් ලෙස දැකීමට හුරුව තිබේ. නොදන්නා විෂය කරුණු ගැන ඒ සමාජයට උසුලු විසුලු කිරීමේ අර්ථය එය යි. කාලයක් පුරාවට හේතු විරහිතව වෛද්‍ය ප්‍රජාව විවේචනය කල සමාජ කොටස්ද මේ සඳහා වග කිව යුතු වේ. නමුත් වෘත්තිකයන් ලෙස වඩා සංවේදී සමාජ කියවීමක් වෛද්‍යවරුන්ගෙන් පුහුදුන් සමාජය බලාපොරොත්තු වේ. සිදුවීම් වලින් හැඟීම්බර වීම ඕනෑම මනුෂ්‍යයකු මුහුණ දෙන සාමාන්‍ය දෙයකි. නමුත් ඒ හැඟීම් ම ප්‍රකාශන ලෙස සමාජගත කිරීමේදී ප්‍රවේශම් විය යුත්තේ ද ප්‍රකාශ හැඟුම් බර වීම නිසාමය. හැඟුම්බර ප්‍රකාශ සමාජය කියවා ගන්නේ හැඟුම් බරවම ය. ඒ හරහා නිකුත් කරන්නට බලාපොරොත්තු වන දේශපාලන පණිවුඩය යටගොස් අනවශ්‍ය භාවයන් පමණක් අවසානයේ සමාජය වෙත යනු ඇත. ගලහ සිදුවීම හරහා වෛද්‍යවරුන් විසින් නිකුත් කරන්නට යෙදුණු උපහාසාත්මක ප්‍රකාශන නිසා සාමාන්‍ය සමාජය ඔවුන් දෙස බලන කෝණය තව තවත් එපා කරවන සුලු එකක් මිස නිශ්චිත ප්‍රශ්නය තේරුම් ගැනීමක් නොවේ. උදාහරණයකට ප්‍රාදේශීයව පිහිටා තිබෙන රෝහල් වල ගැටලු බොහොමයක් ඇත. කාර්ය මණ්ඩලය, යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම, මහජනයාගේ සෞඛ්‍ය ගැන තිබෙන ආකල්ප පිලිබඳ ගැටළු, සම්පත් අවභාවිතය යනාදී ප්‍රශ්න ගැන පුලුල් සමාජ කතිකාවක් ඇති කල හැකිව තිබූ අගනා අවස්ථාවක් මග හැරී ගියේ ය. මේවා ප්‍රාදේශීය මෙන්ම ජාතික දේශපාලන අධිකාරීන්ගේ අවධානය යොමු නොවන කරුණු ය. එදා සිදු වීමට මේවාද බලපා තිබේ. නමුත් අවසානයේ සාකච්ඡාව දිශාගත වුණේ වෛද්‍යවරුන්ට පහර දීම, වෛද්‍ය වරුන්ගේ ජීවිත අනතුරේ යෑම, දැනුම නොමැති මිනිසුන් වෛද්‍ය කටයුතු වලට මැදිහත් වීම යනාදී එක් කුලකයකට පමණක් බලපාන කරුණු කෙරෙහි ය.

සහකම්පනය (empathy) සහ සන්නිවේදනය පිලිබඳ හිස්තැන

මා වටහාගෙන තිබෙන ආකාරයට සෞඛ්‍ය ක්ශේත්‍රයේ තිබෙන විශාලතම ගැටලුවක් වන්නේ සහකම්පනය සහ සන්නිවේදනය පිලිබඳව තිබෙන ගැටලුවයි. සාමාන්‍ය අර්ථයෙන් සහකම්පනය/එම්පතිය යනු රෝගියා සිටින තත්වය පිලිබඳ අවබෝධයක් සහිතව තමා ඒ තත්වයේ සිටියා නම් බලාපොරොත්තු වන ආකාරයට රෝගියාට සහය වීමයි. එය පහසු නැත. සියයට  සියයක එම්පතියක් කිසිම වෛද්‍යවරයකුට දැක්විය නොහැකිය. රෝගියකු සමග ගනුදෙනු අවස්ථාවේදී ඇතිවන හැඟීම් දැනීම්, ප්‍රායෝගික අපහසුතා, අධික වැඩබර, පුද්ගල චරිත ස්වභාවයන්ගේ වෙනස්කම් ආදී කරුණු එම්පතියට හරස් වීම ස්වහාවික ය. නමුත් වඩා අවධානයකින් යුක්තව හැකි සෑම අවස්ථාවකදීම රෝගියා කෙරෙහි සහකම්පනයකින් යුක්තව කටයුතු කිරීම ගැන සැලකිලිමත් වීම වැදගත් ය. යම් සිදුවීමකින් පසුව තමා අතින් සිදුවූ ප්‍රමාදයන් ගැන සිතා බැලීමේ පුහුණුවක් වෛද්‍යවරයාට අවශ්‍ය ය.  සහකම්පනය පිලිබඳ රෝගියාටද දැනෙන්නට සැලැස්වීම වෛද්‍ය-රෝගී සන්නිවේදනයෙන් සිදු කෙරේ.  ප්‍රතිපලය කුමක් වුවත් එසේ ප්‍රමාණවත් සන්නිවේදනයක් නොමැති සෑම අවස්ථවක්ම කෙලවර වන්නේ රෝගියා සහ වෛද්‍යවරයා අතර අනවබෝධයකිනි.  උක්ත සිදුවීමම සලකා බැලුව හොත් වෛද්‍යවරයා කෙතරම් එම්පතියකින් එම දරුවා කෙරෙහි කටයුතු කර තිබුනා වුවද එය දරුවාගේ පවුලේ අයට සන්නිවේදනය මේ බරපතල හිඩැසක් තිබේ. වෛද්‍යවරයාගේ ප්‍රතිකාර කර්තව්‍යය කෙරෙහි ප්‍රතිකාර ලබන පාර්ශවය තුල විශ්වාසය ගොඩ නැගෙන්නේ එලෙස ය. වෛද්‍යවරයා තම දරුවා කෙරෙහි උපරිම සැලකිල්ල දක්වන බවටත් ඔහු කෙරේ විශ්වාසය තබා ගතහැකි බවටත් රෝගීන්ගේ ඥාතීන්ගේ සිත් තුලට ස්වභාවිකවම ඒත්තු ගැන්වීම සරල සන්නිවේදනයකින් සිදු කල හැක. මට සිතෙන ආකාරයට අපේ පද්ධතිය තුල ප්‍රශ්නය තිබෙන්නේ එම්පතියටත් වඩා මෙම සන්නිවේදනය පිලිබඳව ය. එවැනි සන්නිවේදනයක් ගැන මා ලැබූ වෛද්‍ය අධ්‍යාපනය තුල ප්‍රායෝගික තලයේ ප්‍රමාණවත් පුහුණුවක් ලැබුනේ නැත. මගේ දැනීමේ හැටියට එවන් පුහුණුවක් තවමත් වෛද්‍ය විද්‍යල වලින් ලැබෙන්නේ නැත. ඊට වඩා අදටත් ප්‍රමුඛත්වය ලබා දෙන්නේ රෝගියා කෙතරම් අපහසුතාවකින් සිටියද ඔහුගෙන් ඉගෙන ගත යුතු හැකි දේ ගැනීම කෙරෙහි ය.  ප්‍රයෝගික වෛද්‍ය අධ්‍යාපනයේ සිට මෙම ගුණාංගය වැඩි දියුණු කල යුතුව ඇත.  මේ සිදුවීම හරහා එවන් සාකච්ඡාවකට ඉඩකඩ වෙන් වුවද කිසිමාකාරයකින් එය සාකච්ඡාවට බඳුන් වූයේ නැත.

මූලික සෞඛ්‍ය කරුණු ගැන මහජනයාගේ නොදැනුවත් බව. මෙය නිවැරදි කල හැකිද?

සෞඛ්‍ය සාක්ෂරතාව ගෙවත් health literacy යන්න ලෝකයේ බොහෝ සෙයින් කතාබහට ලක්වන, පර්යේෂණ කෙරෙන මාතෘකාවකි. සාමාන්‍ය සාක්ෂරතාව කෙතරම් දියුණු රටවල් වුවද සෞඛ්‍ය කරුණු ගැන අඩු මට්ටමේ සාක්ෂරතාවක් උසුලයි.රෝගීන් වෛද්‍යවරයා දෙන උපදෙස් පිලිපැදීම, මූලික සෞඛ්‍ය කරුණු ගැන ‍රෝගීන්ගේ තිබෙන අවබෝධය වැනි දෑ එම ක්ශේත්‍රයේ අය උපකල්පනය කරනවාට වඩා බොහෝ අඩු මට්ටමක පවතී. ලෝකය පුරා මේ කරුණ එක සමානය.
ලංකාවේ මේ පිලිබඳ ප්‍රමාණවත් අධ්‍යනයන් සිදුකෙරී නැතිවා පමණක් නොව ප්‍රතිපත්ති නිර්මාණය කිරීමේදී ඒ ගැන විශේෂ සැලකිල්ලක් යොමු කරද නැත. දියුණු රටවල් වල සෞඛ්‍ය සාක්ෂරතාව වැඩි කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග ලංකාවේ අපට තව බොහෝ දුරය. ඇමෙරිකා එක්සත් ජනපදය වැනි රටක කර ඇති අධ්‍යනයන් වලට අනුව ඔවුන්ගේද සාක්ෂරතාව 12%  වැනි අගයක් ගනී. ඔවුන්ගේ වැඩිහිටි  ජනගහනයෙන් තුනෙන් එකකට සාමාන්‍ය බෙහෙත් වට්ටෝරුවක උපදෙස් පිළිපැදීමේ හැකියාවක් නැත.  කාලයත් සමග සෞඛ්‍ය සේවාව කෙතරම් දියුණු වුවද ඔවුන්ගේ  මහජන සෞඛ්‍ය සාක්ෂරතාව වෙනස් වීද නැත. සමහර විට ජනතාවගේ සෞඛ්‍ය ගැන තිබෙන සාක්ෂරතාවය එක් ලක්ෂ්‍යයකින් එහාට වැඩිකල නොහැකි වීමට ද ඉඩ තිබේ. එතනින් එහාට වගකීම ඇත්තේ ඔවුන්ගේ නොදැනුවත් බව තේරුම් ගෙන ඊට ගැලපෙන ලෙස සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල වෙනස් කම් සිදු කිරීමය. එතනදීත් සහකම්පනය සහ සන්නිවේදනය වෙත වැඩි බරක් යෙදේ. ජනතාවගේ නොදැනුවත් බවට අනුකම්පා කිරීම එහි පළමු අංගය යි. හාස්‍යයට බඳුන්කිරීම සහකම්පනයට හාත්පසින්ම විරුද්ධ ඉවුරේ සිටින්නකි.

ප්‍රාථමික වෛද්‍ය සේවාවේ වෙනස්කම් වලට කාලය

තවමත් රටේ ක්‍රියාත්මක වන්නේ දශක කිහිපයකට පෙර ස්ථාපිත වූ රෝහල් ව්‍යුහයකි. නාමකරණයේ යම් යම් වෙනස්කම් සිදු වුවද පරිපාලන ව්‍යුහයේ හෝ රෝගී සත්කාර ක්‍රම විධි වල එතරම් වෙනස්කම් සිදුව නැත. ග්‍රාමීය මට්ටමේ තත්වය තවත් දරුණු ය. සෞඛ්‍ය සම්පත් නාස්ති වීම, සහ අවභාවිතය නිරීක්ෂණය කල හැක. ඒ ගැන ප්‍රමාණවත් විගණනයක්ද සිදුව නැත. ප්‍රජා සෞඛ්‍ය සේවාව ( preventive sector -සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්‍යාල, මහජන සෞඛ්‍ය පරීක්ෂක, පවුල් සෞඛ්‍ය සේවිකා ආදී ) වෙනස්කම් වලට භාජනය වෙමින් උසස් තත්වයක පැවතියද ඊට ගැලපෙන ලෙස ග්‍රාමීය ප්‍රදේශ වල ප්‍රතිකාර සේවා (curative sector) වෙනස් කම් වලට භාජනය වී නැත. බොහෝ ප්‍රදේශ වල සුලු අසනීප වලට ප්‍රතිකාර පමණක් සිදු කරන රෝහල්, වෛද්‍ය ඒකක තිබෙන බව නිරීක්ෂණය වේ. මේවා නඩත්තුවට අධික පිරිවැයක් දරනවා මෙන්ම ඒවාහි වෛද්‍ය ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල ස්ථානගත කිරීමෙන් සම්පත් අවභාවිතයක් සිදුවේ. විසඳුම ලෙස මේවා වසාතැබීමට යෝජනවා කරනවාට වඩා නිසි අධ්‍යනයකින් ප්‍රාථමික වෛද්‍ය සේවා ප්‍රති ව්‍යුහගත කිරීම ඉතාම කාලෝචිතය. අමාත්‍යවරයා පවා එවැනි අදහසක් මතු කර තිබිණ.

ගලහ සිදුවීම හුදෙක් එක් සිදුවීමක් නොවේ. එය සමාජයේ කතාබහට ලක්විය යුතු කරුණු රැසක් අන්‍තර්ගත කෙරුණු එක් මුහුණතක් පමණි. සමාජ ප්‍රශ්න එලියට එන්නේ ඒ ලෙසටය. ඒවා කියවා ගැනීමට දක්ෂ නොවන්නේ නම් ඒ ප්‍රශ්න වලට විසඳුම්ද කිසිදා නිර්මාණය නොවනු ඇත. නමුත් ප්‍රශ්න වලට විසඳුම් ලැබෙන තෙක් ගලහ වැනි සිදුවීම් යලි යලිත් සිදුවනු ඇත. අවාසනාවට ඒ එක් සිදුවීමක් වැරදියට කියවා ගැනීමම ඊලඟ සිදුවීමට හේතු සාධක වනු ඇත.

හසින්ද උදලාගම 

Comments

Popular posts from this blog

ලංකාවෙන් ඩෙංගු සදහටම තුරන් කරන්නේ මෙහෙමයි.

ඩෙංගු වසංගතය රටම වෙලාගෙන අවසන්ය . තව දුරටත් එය තදාසන්න ප්‍රදේශ වලට පමණක් සිමා වුන රෝගයක් නොවේ . මෙවර වසංගත තත්වයේදී මුලින් ම එය රටේ කොළඹ , ගම්පහ , කුරුණෑගල , වැනි දිස්ත්‍රික්ක වල පමණක් දක්නට ලැබුනත් පසුව එය වෙනත් නගරබද ප්‍රදේශ කරාත් පසුව ඈත ගම් දනවු වෙතත් පැතිර ගිය අකාරයක් දක්නට ලැබුනි .

කාන්තාවන් සුන්නත් කිරීම ගැන

නොබෝදා මුස්ලිම් කණ්ඩායම් කිහිපයක් එකතුව රජයෙන් සිදු කරන ලද ඉල්ලීමක් නිසා කාන්තාවන් සුන්නත් කිරීම ගැන කතාබහක් හිටි හැටියේම කරලියට පැමිණියේ ය.

මේ රට මගෙ රට

" මේ රට මගෙ රට මා ඉපදුන රට හැදෙන වැඩෙන රට මගේම මවු රට" මට සාමාන්‍යයෙන් දේශාභිමානී ගී දිරවන්නෙ නෑ...