Skip to main content

මත්ද්‍රව්‍ය ගැනීම’අපරාධයක් ලෙස නොසලකන පෘතුගාලය





ඒ 80 දශකයයි. 70 දශකයේ අග භාගයේ පෘතුගාලයේ ආර්ථිකය විවෘත කිරීමත් සමග රට තුලට වේගයෙන් මුදල් ගලා ඒම සිදුවන්නට වුනා. වෙළඳාම දියුණු වුනා. සංචාරකයින් එන්නට පටන් ගත්තා. රට හිටි අඩියේම විශාල පරිවර්තනයකට ලක් වුණා.


අල්වාරෝ පෙරේරා නම් තරුණ වෛද්‍යවරයා තම බිරිඳද කැටුව පෘතුගාලයේ  ඕජාවෝ නම් මුහුදුබඩ ධීවර ගම්මානයට පැමිණෙන්නේ මේ කාලයේදීයි. වෛද්‍ය වරයකු ලෙස එහි ජීවිකාව පටන් ගෙන ඉතා කුඩා කාලයකදී එහි වැසියන් සමග ඉතා කුළුපග ආශ්‍රයක් ගොඩ නගා ගන්නට ඔහුට හැකි වෙනවා.  

කාලය ගත වන විට පෘතුගාල සමාජය ක්‍රම ක්‍රමයෙන් වෙනස් වන්නට පටන් ගන්නවා. සෞභාග්‍යය වෙනුවට පෘතුගාලය වෙලා ගන්නට පටන් ගන්නේ මත්ද්‍රව්‍ය සහ ඒ හා බැඳුනු අනෙක් ප්‍රශ්න බොහොමයකුයි. වෛද්‍ය පෙරේරාට මෙම වෙනස් කම් තම කුඩා ගම්මානය තුලද නිරීක්ෂණය වන්නට පටන් ගන්නවා. තරුණයන් මත්ද්‍රව්‍ය වලට යොමු වී විවිධ ගැටළු වලට මැදි වනු ඔහු නිරීක්ෂණය කරනවා. මිනිසුන් වීදි වල එළිපිටම හෙරොයින් විද ගැනීම දක්නට ලැබුනා. නගරයේ සොරකම්, මංකොල්ල කෑම් පහර දීම් ගහණ වුවා. මත්ද්‍රව්‍ය උග්‍ර මාත්‍රා ගැනීමෙන් සහ ඒ සම්බන්ධ අපරාධ වලින් මියගිය පුද්ගලයින් ගැන සෑම දිනකම පුවත් පල වන්නට වුනා. එච්. අයි. වී වැනි රෝග බහුලව දකින්නට ලැබුණා. පෘතුගාලය යුරෝපයේ මත්ද්‍රව්‍ය සම්බන්ධ ප්‍රශ්න බහුලම රටක් බවට පත් වුනා. 90 දශකයේ අග භාගය වන විට රටේ ජනගහනයෙන් 1% ක් තදින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් බවට සංඛ්‍යාලේඛන පෙන්වනවා. යුරෝපයේ වැඩිම එච්.අයි.වී. ආසාදිතයින් සිටින රට බවට පත්ව තිබුනේ පෘතුගාලයයි.

පෙරේරාගේ වෛද්‍ය මධ්‍යස්ථානයට පැමිණෙන මතට ඇබ්බැහි වුවන්ගේ සංඛ්‍යාව  දිනෙන් දින ඉහල යන්නට පටන් ගත්තා. ඔහු තමා වෙත පැමිණි රෝගීන්ට තමන් දන්නා අයුරින් වෙන වෙනම ප්‍රතිකාර කරන්නට පටන් ගත්තා. සැම රෝගියෙක්ටම අනෙකාට වෙනස් වූ ප්‍රශ්නයක් තිබෙන බව ඔහුට තේරුම් ගියා. ප්‍රතිකාර සහ අනෙක් අවශ්‍ය පියවර එක් එක් රෝගියාට ගැලපෙන ලෙස සකස් කිරීමට ඔහුට සිදු වුනා. මත්ද්‍රව්‍ය සම්බන්ධව අධ්‍යනය කරන්නටත් විවිධ ප්‍රතිකාර ක්‍රම අත්හදා බැලීමටත් පටන් ගත් ඔහු නිතැතින්ම ඒ පිලිබඳ ප්‍රවිනත්වයට පත් වුනා.

මත් ඇබ්බැහියට ප්‍රතිකාර කරන ස්ථාන රට පුරා

පෙරේරා සිදු කල ලෙසටම මත්ද්‍රව්‍ය ගැටළු වලට ප්‍රතිකාර කරන ස්ථාන තැනින් තැන බිහිවන්නට පටන් ගත්තා. ඒවායින් බොහොමයක් ඒවා රාජ්‍ය අනුග්‍රහය නොලැබුණු, නීතියෙන් ප්‍රතිපාදන පවා නොතිබුන ප්‍රතිකාර ක්‍රම සැපයු ආයතන යි. නමුත් සාර්ථකව ප්‍රතිකාර කරන බවට මත් ද්‍රව්‍ය භාවිත කරන්නන් අතර විශ්වාසයක් ඒවා කෙරෙහි ඇති වී තිබුණා. වෛද්‍ය වරුන්, මනෝ වෛද්‍ය වරුන්,  මනෝ චිකිත්සක වරුන්, ඖෂධවේදීන් ආදී විවිධ ක්ෂේත්‍ර වල පුද්ගලයින් එවන් ප්‍රතිකාර වලට හවුල් වුවා.  එදියුනෝ ලෝපේස් නම් මනෝ වෛද්‍යවරයා තම නගරයේ මෙතඩොන් ( methadone) ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම මේ අතර කැපී පෙනෙන උත්සාහයක් වුනා.. මෙතඩොන් යනු දැනට ලෝකය හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය ඇබ්බැහියට ප්‍රතිකාර ලෙස ලබා දෙන ඖෂධයක්. එමගින් හෙරොයින් සඳහා ඇති ආශාව අඩු කරනු ලබන අතර හෙරොයින් නැවැත්වීමෙන් සිරුරට දැනෙන අපහසුතා මග හරවනවා. ලෝපේස් යනු යුරෝපයේ ප්‍රථම වරට එම ප්‍රතිකාර ක්‍රමය අත්හදා බැලු පුද්ගලයාද වෙනවා. ඔහුගේ මෙම වෑයම සමාජයේ සහ අනෙක් වෛද්‍ය ප්‍රජාව අතර අධික ලෙස දෝෂ දර්ශනයට ලක් වුනා. ඔවුන් එවකට මෙම ඖෂධය හැඳින්වුයේ ‘රජයේ අනුග්‍රහයෙන් ලබාදෙන මත්ද්‍රව්‍ය’ ලෙසටයි. ලිස්බන් නගරයේ සිටි ඖෂධ වේදිනියක් මෙන්ම HIV ගැන පර්යේෂණ කල තැනැත්තියක වූ ඔඩේට් ෆෙරයිරා විසින් හෙරොයින් එන්නත් භාවිතා කරන්නන් අතරේ පිරිසිදු එන්නත් කටු බෙදා දීමේ වැඩසටහනක් නිල නොවන මට්ටමින් ආරම්භ කළා. ඇය එසේ කිරීමට හේතුව වුනේ එකම එන්නත් කටුව කිහිප දෙනෙක් විසින් පාවිච්චි කිරීම නිසා ඒ වනවිට HIV අසාදිතයින් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහල යමින් තිබු නිසයි. ඇයට රජයෙන් මෙන්ම මත් ජාවාරම් කරුවන්ගේනුත් නොයෙක් තර්ජන වලට මුහුණ දීමට සිදු වුනා. නමුත් 90 හැවිරිදි වුවද අදටත් ඇය එම කාර්යය කරගෙන යන බව පැවසෙනවා. ඇයගේ උත්සාහය නිසාම ලෝකයේ ප්‍රථම ජාතික එන්නත් කටු බෙදා හැරීමේ වැඩසටහන එරට රජයේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක කිරීමත් පසුව සිදුවෙනවා.

නමුත් රජයේ වැඩසටහන වුනේ සම්පුර්ණ වෙනස් එකක්. මත්ද්‍රව්‍ය සම්බන්ධ නීති දැඩි කොට වැටලීම්, සිරගෙවල් නඩත්තු කිරීම් වැනි දේවල් වලට ප්‍රති පාදන වැඩි වැඩියෙන් යොමු කිරීම රජයෙන් සිදු වුනා. මත් ද්‍රව්‍ය භාවිත කරන්නන් පහත් කොට සලකා ඔවුන් සමාජයෙන් කොන් කර නීතිය හමුවට ගෙන ඒම එකම විකල්පය ලෙසට සමාජයේ පොදු මතයද සකස් වී තිබුණා. පෙරේරා ඇතුළු පිරිස තනි තනිව තම සේවය සැපයුවේ එවැනි තත්වයක් යටතේයි. කෙසේ නමුත් ක්‍රමයෙන් පෘතුගාලයේ මත්ද්‍රව්‍ය අර්බුදය උග්‍ර වීමත් සමග සමාජයේ ඒ කෙරෙහි තිබුණු ආකල්පය වෙනස් වන්නට වුනා. නීති රීති පනවා දඬුවම් ලබාදීමෙන් කිසිවක් විසඳෙන්නේ නැති බව ඔවුන්ට අවබෝධ වන්නට පටන් ගත්තා. සෑම පවුලකටම පාහේ සම්බන්ධ කෙනෙක් මත් උවදුරට ගොදුරු වූ තිබු නිසාත් ප්‍රශ්නය දෙස මානුෂික ඇසකින් බලන්නට සියලු දෙනාටම සිදු වූ බව විශ්ලේෂකයින් පවසනවා. මේ තත්වය හමුවේ ප්‍රශ්නය දෙස වෙනත් කෝණ වලින් බැලීමට රජයට සිදු වනවා.

ඒ අනුව 1987දි එරට ප්‍රථම රජයේ මත්ද්‍රව්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය ලිස්බන් නගරයේදී විවෘත කෙරෙනවා. රට තුල පුද්ගලික මට්ටමෙන් පවත්වාගෙන ගිය ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට සාපේක්ෂව ප්‍රාථමික මට්ටමේ සේවාවක් සැපයුවද එය එරට මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේ තීරණාත්මක පියවරක් ලෙසයි සැලකෙන්නේ. එතැනදී මුලිකවම මත්ද්‍රව්‍යය භාවිතය එක වරම නවතා එමගින් ඇතිවන සංකුලතා වලට ප්‍රතිකාර කිරීමයි සිදු වුයේ. නමුත් පෙරේරා වැනි වෛද්‍යවරුන් සිදු කලේ ඉන් අනෙක් පැත්තයි. ඔවුන් සිදු කලේ මත්ද්‍රව්‍යය භාවිතා කරන අතරම ක්‍රමානුකුලව එය නැවත්වීමට රෝගියාට උපකාර කිරීමයි.

ගුලාඕ සහ පෙරේරාගේ එකතු වීම.

මත්ද්‍රව්‍ය සම්බන්ධ ගැටළු දිනෙන් දින ඉහල යද්දී, ඊට එරෙහිව තම වැඩසටහන් සියල්ල ව්‍යර්ථ වන විට පෘතුගාල රජය අසරණ තත්වයකට පත්වනවා. මේ අතරෙදියි කුඩා නගරයක සිටින මතට ඇබ්බැහි වුවන්ට ප්‍රතිකාර කරන “පිස්සු” වෛද්‍ය වරයෙක් පිලිබඳ ඔවුන්ට අසන්නට ලැබෙන්නේ.  ඒ අපේ කතානායකයා වූ වෛද්‍ය අල්වාරෝ පෙරේරා යි. පෘතුගාල සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ඔහු පිලිබඳ සොයා බලන විට දැනගන්නට ලැබෙන්නේ ඔහුගේ ප්‍රතිකාර ක්‍රම අමුතු වුවත් ඒවා සාර්ථක නිසා දස දෙසින් රෝගීන් ඔහුගෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන බවයි. ඒ අනුව අමාත්‍යාංශය ඔහු හමුවට පැමිණ රජයේ අනුග්‍රහයෙන් ප්‍රතිකාර මත්ද්‍රව්‍ය මධ්‍යස්ථානයක් ආරම්භ කරන ලෙස ආරාධනා කරනවා. එම ඇරයුම පිළිගන්නා ඔහු ඊට හවුල් කරගන්නේ ඊට එහා නගරයේ සිටි ඔහුගේ මිත්‍ර තවත් තරුණ වෛද්‍ය වරයෙක්. ඔහු නමින්  ජොආ ගුලාඕ. 1988 දී ඔවුන් දෙදෙනා එකතුව ආරම්භ කරන වෛද්‍ය මධ්‍යස්ථානය තම ප්‍රතිකාර සාර්ථකව දියත් කරන්නේ දේශපාලනික වශයෙන් ඊට ලැබුණු උග්‍ර විරෝධයද හමුවේයි. නමුත් ඔවුන්ගේ උත්සාහය සාර්ථක කරමින් මාසයක් ඇතුලත එම නගරයේ තවත් මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට ඔවුන්ට හැකි වනවා. මේ සාර්ථක වීමත් සමග රටපුරා එවැනි වෛද්‍ය මධ්‍යස්ථාන හතු පිපෙන්නාක් මෙන් බිහි වීමට පටන් ගන්නවා. නමුත් තවමත් නිසි සංවිධානාත්මක ව්‍යුහයක් නොමැතිව තනි තනිව එවැනි මධ්‍යස්ථාන පැවතීම ගැටළුවක් වුනා.

ජාතික සැලැස්මක් සකස් වෙයි.

ඊට නිසි පිළිතුරු සොයනු වස් සඳහා 1997 දී ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා ගුලාඕට ඇරයුමක් ලැබෙනවා. ඔහුගේ ප්‍රධානත්වයෙන් විශේෂඥ කණ්ඩායමක් එම ප්‍රතිපත්ති මාලාව සකස් කර අමාත්‍ය මණ්ඩලයට යොමු කරනවා. අනුමැතිය ලැබීමෙන් පසුව 2001 සිට එය ක්‍රියාත්මක වීම ඇරඹෙනවා. සියල්ල කණපිට හැරවෙන්නේ එතැන් සිටයි.

මෙම ප්‍රතිපත්ති මාලාවට අනුව පෘතුගාලය තුල සියලුම මත්ද්‍රව්‍ය භාවිතය අපරාධයක් ලෙස සැලකෙන්නේ නැහැ. තනි පුද්ගලයෙකුට දින දහයකට ප්‍රමාණවත් තරම් මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම නිතිය හමුවේ දඬුවම් හිමි වන වරදක් වන්නේ නැහැ. යම් පුද්ගලයකු සතුව මත්ද්‍රව්‍ය තිබී හමු වුවහොත් අත්අඩංගුවට පත්ව උසාවිට ඉදිරිපත් කිරීම වෙනුවට එවැනි පුද්ගලයකුට සිදුවන්නේ විශේෂ කොමිසමක් හමුවට ගොස් කරුණු පැහැදිලි කිරීමටයි. එම කොමිසම නීතිඥයකු, වෛද්‍යවරයකු, මනෝ විශේෂඥයකු, සහ සමාජ සේවා නිලධාරියකුගෙන් සමන්විතයි. පැති ගණනාවකින් ඔහුගේ ප්‍රශ්නය පිලිබඳ සොයා බලා අවශ්‍ය තීරණ තීන්දු ගනු ලබනවා. ඔහු සතුව පුද්ගලික පරිහරණයට වඩා ප්‍රමාණයක් තිබුනේ නම් එතනින් උසාවි ක්‍රියාමාර්ග ගැනීම සිදුවෙනවා. ඊට වඩා අඩු ප්‍රමාණයක් තිබුනේ නම් ඔවුන් කොටස් දෙකකට වෙන් කෙරෙනවා. එනම් සාමාන්‍ය පරිභෝජකයින් සහ ඇබ්බැහි වුවන් ලෙසටයි. එම වර්ගීකරණය සිදුවන්නේ විද්‍යාත්මක ක්‍රමවේදයකටයි. සාමාන්‍ය පරිභෝජකයින් අවවාද කිරීමක් සහ ඇතැම් විට දඩයක් සමග මුදා හැරෙනවා. ඇබ්බැහි වුවන් ලෙසට හඳුනා ගන්නා පුද්ගලයින් රට පුරා තිබෙන ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් කැමති එකක් වෙත යොමු කෙරෙනවා. ඒවායින් අවශ්‍ය ප්‍රතිකාර (මෙතඩොන් වැනි ), උපදේශන සේවා, වෘත්තීය පුහුණු ආදී සේවාවන් ලබා ගත හැකියි. මීට අතරව මත් ද්‍රව්‍ය සම්බන්ධ හානි අවම කරගැනීමේ ස්වේච්ඡා කණ්ඩායම් ස්ථාපිත කිරීමත් සිදු වුනා. එම කණ්ඩායම් මගින් මත්ද්‍රව්‍ය සම්බන්ධ ස්වයං තීරණ ගැනීමේ හැකියාව වැඩි කිරීමට තරුණ තරුණියන්ට උදව් කිරීම සිදු කරනවා. තරමක විප්ලවීය කර්තව්‍යයක් ලෙස සැලකිය හැකි එම කණ්ඩායමේ සේවා  පාසල් , විනෝද සැණකෙළි, තැබෑරුම් වැනි පොදු ස්ථාන වලට ලබා දෙනවා. යමෙක් තමන්ට මත්ද්‍රව්‍යයක් අවශ්‍යද නැද්ද, අවශ්‍යතාවය කුමක්ද, එමගින් සිදුවන හානි මොනවාද, හානිය අවම කරගන්නේ කෙසේද, ඇබ්බැහිය වළක්වාගන්නේ කෙසේද වැනි මත්ද්‍රව්‍ය සමග බැඳුණු වගකීම තරුණ තරුණයින්ට හුරු කරවීම ඔවුන් මගින් සිදු කෙරෙනවා. පිරිසිදු එන්නත් කටු, භාවිතය සඳහා අවශ්‍ය වන වෙනත් පිරිසිදු උපකරණ (drug kit). කොන්ඩම් ආදිය නොමිලේ ලබාදීමත් ඔවුන් සිදු කරනවා. මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා වෙන් කල මුදල් වලින් 90% ක් මෙම ප්‍රතිකාර සහ පුනුරුත්තාපන කටයුතු සඳහා වෙන් කර තිබෙනවා. වැටලීම් සඳහා වෙන් කර තිබෙන්නේ 10% ක් පමණයි.

මත්ද්‍රව්‍ය භාවිතය අපරාධයක් ලෙස සැලකීම අහෝසි කිරීමෙන් පසුව පෘතුගාල සංඛ්‍යාලේඛන ක්‍රම ක්‍රමයෙන් වෙනස් වන්නට වුනේ ලෝකයේ සියල්ලන්ගේම අවධානය දිනා ගනිමින්. 2001 වන විට 100000 ක්ව සිටි සමස්ත හෙරොයින් පාවිච්චි කරන පුද්ගලයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 30000 දක්වා අඩු වී තිබෙනවා. ඇබ්බැහි වුවන්ගේ සංඛාව අඩකින් පමණ අඩු වී තිබෙනවා විශේෂයෙන් අවුරුදු 15-24 වයස් කාණ්ඩ වල මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ගේ ශීඝ්‍ර අඩු වීමක් පෙන්නුම් කරනවා. මත්ද්‍රව්‍ය මාත්‍රාව අධික වීම නිසා මිය යන්නවුන්ගේ සංඛ්‍යාව සීයට අසුවකින් අඩු වී තිබෙනවා. එමෙන්ම යුරෝපයේ මත්ද්‍රව්‍ය එන්නත් නිසා HIV ආසාදනය වුවන්ගේ සංඛ්‍යාව අඩුම රට බවට පෘතුගාලය පත්ව හමාරයි.

මේ සියලු කරුණු නිසා මත්ද්‍රව්‍ය ගැටළු වලට විසඳුම් දෙන මොඩලයක් ලෙස පෘතුගාලය අධ්‍යනය කිරීමට ලෝකය පෙළඹිලා.. 2001 සිට මේ වනතෙක් ඔවුන් පෙන්වූ ප්‍රතිඵල විස්මය උපදවනවා කිවොත් නිවැරදියි. ක්‍රියාදාමයේ මුලදී එයට විරුද්ධව එල්ල වූ ප්‍රති තර්ක සියල්ලම පාහේ සංඛ්‍යාලේඛන වලින් බිඳ වැටි තිබෙනවා. නමුත් හෙරොයින් වලට විකල්ප ලෙස පැමිණි අනෙක් මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය අඩු කිරීමත්, යුරෝපා ආර්ථික අර්බුධය හමුවේ ප්‍රති පාදන අඩු කිරීමත් අභියෝග ලෙස ඔවුන්ට මුහුණ දීමට සිදුව තිබෙනවා. ප්‍රශ්න වලට නිර්මානාත්මක විසඳුම් දීමේ හැකියාවක් ඇති පෘතුගාලය කෙසේ හෝ එම අභියෝගත් ජයගනු ඇති බවට බොහෝ දෙනා මත පල කරනවා.

මෙම ලිපිය හරහා ලියුම් කරුගේ අරමුණ මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය නොවේ. මේ වන විට ලොව සෑම රටකම පාහේ ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය ප්‍රශ්නය ගැන බහුතරයක් නොදන්නා, ජනප්‍රිය නොවන ක්‍රම වේදයක් ගැන අවධානය යොමු කිරීම යි. ඇමරිකාව, පිලිපීනය, ඉන්දුනීසියාව  වැනි රටවල් දඬුවම් පැමිණවීම කෙරෙහි පමණක් අවධානය යොමු කර සංඛ්‍යාලේඛන වල කිසිදු ප්‍රගතියක් අත් කර නොගන්නා විට පෘතුගාලය ඊට වෙනස් මාවතක යමින් විශාල ප්‍රගතියක් අත්කරගෙන ඇත්තේ මන්ද යන්න විමසා බැලිය යුතු කරුණක්. ඔවුන් මත්ද්‍රව්‍ය භාවිතය අපරාධයක් ලෙස සැලකීම නවත්වා ඒ සම්බන්ධ පුළුල්, ප්‍රජා වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම මුලික කරගත්තා. විසඳුම් දීමේදී සමාජය නොව තනි තනි පුද්ගලයා ආමන්ත්‍රණය කරීම ගරු කොට ගත්තා. මත්ද්‍රව්‍ය භාවිත කරන්නෙක් වුවද අපරාධමය කෝණයකින් නොබලා මනුෂ්‍යයකු ලෙස සලකා ඔහුට හෝ ඇයට ආවේණික වූ ප්‍රශ්න වලට විසඳුම් සෙවීමට සහාය වුනා. සමාජ ප්‍රශ්න විසඳීමේදී පුද්ගලානුබද්ධව බැලීමේ වැදගත් කම ලෝකයට මතක් කර දුන්නේ පෘතුගාලයයි. අප මෙතෙක් විශාල සමාජ ප්‍රශ්න ලෙස සිතා සිටින දේවල් දෙස මානුෂික මුහුණුවරකින් බැලීමට පෘතුගාලයෙන් පාඩම් බොහොමයක් ලබා ගත හැකියි.


 හසින්ද උදලාගම







Comments

Post a Comment

Popular posts from this blog

ලංකාවෙන් ඩෙංගු සදහටම තුරන් කරන්නේ මෙහෙමයි.

ඩෙංගු වසංගතය රටම වෙලාගෙන අවසන්ය . තව දුරටත් එය තදාසන්න ප්‍රදේශ වලට පමණක් සිමා වුන රෝගයක් නොවේ . මෙවර වසංගත තත්වයේදී මුලින් ම එය රටේ කොළඹ , ගම්පහ , කුරුණෑගල , වැනි දිස්ත්‍රික්ක වල පමණක් දක්නට ලැබුනත් පසුව එය වෙනත් නගරබද ප්‍රදේශ කරාත් පසුව ඈත ගම් දනවු වෙතත් පැතිර ගිය අකාරයක් දක්නට ලැබුනි .

කාන්තාවන් සුන්නත් කිරීම ගැන

නොබෝදා මුස්ලිම් කණ්ඩායම් කිහිපයක් එකතුව රජයෙන් සිදු කරන ලද ඉල්ලීමක් නිසා කාන්තාවන් සුන්නත් කිරීම ගැන කතාබහක් හිටි හැටියේම කරලියට පැමිණියේ ය.

මේ රට මගෙ රට

" මේ රට මගෙ රට මා ඉපදුන රට හැදෙන වැඩෙන රට මගේම මවු රට" මට සාමාන්‍යයෙන් දේශාභිමානී ගී දිරවන්නෙ නෑ...