Skip to main content

දේවල් Judge කරන්න අපි කවුද?




අධිකරණ වෛද්‍ය විද්‍යාව හදාරන කාලයේ එක් ආචාර්යතුමියක් අපේ කණ්ඩායමෙන් ප්‍රශ්නයක් ඇහුවා. ඒ ප්‍රශ්නෙ ඇහුවෙ එක්තරා සිදුවීමක් ආශ්‍රයෙන්. සිදුවීම සත්‍ය එකක්.


මට මතක හැටියට සිදුවීම මෙහෙමයි. එක්තරා තරුණියක් පිටුපසින් නිතරම තරුණයෙක් එනවා ඇගේ කැමත්ත විමසමින්. ඇය ඔහුට හරි පිලිතුරක් දෙන්නෙත් නැහැ. බෑ කියලා ඔහුව ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. දවසක් මේ තරුණිය (ඇය ඇඟලුම් සේවිකාවක්) පාරේ යනවිට එම තරුණයා ත්‍රීරෝද රථයකින් පැමිණ එම රථයට නගින ලෙස ඇයගෙන් ඉල්ලා සිටිනවා. ඇය යම් පැකිලීමකින් පස්සෙ එයට ගොඩවනවා. ඇයව පාලු ස්ථානයටකට රැගෙන යන ඔහු මුලින්ම ඇය සමග දොඩමලු වෙනවා.  බියර් පානය කරන ඔහු එම තරුණියටත් බියර් පානය කරන ලෙස බල කරනවා. ඒ අතරේ ඔහු ටිකෙන් ටික ඇයව ස්පර්ශ කරන්න පටන් ගන්නවා. ඇය මුලින් එයට ඉඩ දෙනවා. නමුත් ඔහු ඇයව ලිංගික එකතුවීමක් දක්වා පොලඹවා ගැනීමට උත්සාහා කරනවා. ඇය එය ප්‍රතික්ෂේප කර ඔහුගෙන් ගැලවීමට උත්සාහා කලත් එය ව්‍යර්ථ වී අවසානයේ ඔහු අතින් ලිංගික හිංසනයට ලක්වෙනවා.

අපෙන් අහපු ප්‍රශ්නය තමයි "එම තරුනිය හා එම තරුණයා අතර සිදුවූ ලිංගික කර්තව්‍යය කැමත්තෙන් සිදුවූවක්ද නැද්ද යන්න. "

මම උත්තරයක් දුන්නා. මම කීවෙ ඇය මුලින් ත්‍රීරෝද රථයට ගොඩ වෙන්නේ කැමැත්තෙන් , ඔහු දෙන බියර් පානය කරන්නේ ඇයමයි, මුලින් සිදු වන ස්පර්ශ කිරීම්වලටත් ඇය ඉඩ දෙන නිසා එම සිදුවූ දෙයට ඇගේ යම් කැමැත්තක් තිබෙන බව පේනවා. ඒ නිසා එහි වගකීමෙන් කොටසක් ඇය වෙතටත් යන බව.

මගෙ පිලිතුර අහන් හිටපු එම ගුරුතුමිය ගත් කටටම කීවේ "ඔන්න ඕක තමා අපේ ගොඩක් අය හිතන් ඉන්න විදිය" යනුවෙන්. එවකට තුන්වන වසර හිටපු මගේ ඒ පිලිතුර නිරදය ලෙස විවේචනයක් වුණේ නෑ. එහි නියම නීතිමය ස්වභාවය ඇය පැහැදිලි කලා. ඒ අනුව මුලින් දෙන කැමැත්තක් ඕනැම වෙලාවක වෙනස් කිරීමට කාන්තාවට හැකියි. ඊට ඒ අවස්ථාවේ සිට පිරිමියා හිස නැමිය යුතුයි. මට ඒ සිදුවීම හොඳටම මතක තිබුනේ මම දුන් පිලිතුර ගැන මට මහා ලජ්ජාවක් ඇතිවූ නිසයි. එවන් ලිංගික බලහත්කාරකමක ස්වභාවය ගැන මා මෙතෙක් කල් සිතාගෙන සිටි ස්වභාවය ගැන මටම ලජ්ජා හිතුණා. "දේවල් Judge කරන්න අපි කවුද? " කියන පාඩම මම ඉගෙන ගත්තා..

මට මේ සිදුවීම මතක් වුණේ මේ දවස් වල කතාවෙන හෙදියගේ සහ හමුදා නිලධාරියාගේ සිදුවීම නිසා. මගෙ ඇස් අදහා ගත නොහැකි මට්ටමේ judgemental කතා ගොඩක් තැන් වල මම දැක්කා. ගොඩක් අය හරියට බලන්හිටියා වගේ ප්‍රකාශ නිකුත් කරනවා. ඒ ගොඩක් තැන් වල මතුකරන දෙයක් තමා ඇයගේ යම් කැමැත්තකුත් මත මේ දේවල් සිදු වී ඇති බව . මේ සිදුවීම ඇත්තටම සිදුවුනේ කොහොමද කියා දන්නේ ඇය සහ ඒ පිරිස පමණයි. ඒ සමබන්ධයෙන් නියමිත තීන්දුව අධිකරණයෙන් ප්‍රකාශ වෙයි. එහිදී ඇගේ consent එක නිවැරදිව ප්‍රශ්න කෙරේවි.

නමුත් ඊට පෙර අපි ඒ සිදුවීම සිදුවුණ ආකාරය ගැන කරන සියලුම ප්‍රකාශ වලින් එලිවෙන්නේ අපේ දැක්ම විතරමයි.  අවස්ථාවක් ලැබුනොත් අපි කෙනෙක්ව බලහත්කාරකමකට ලක් කරනවාද නැද්ද යන්න තීරණය කරන්න අපි කල්පනා කරන්නෙ කොහොමද කියන කාරණේ විතරමයි.

Comments

Popular posts from this blog

ලංකාවෙන් ඩෙංගු සදහටම තුරන් කරන්නේ මෙහෙමයි.

ඩෙංගු වසංගතය රටම වෙලාගෙන අවසන්ය . තව දුරටත් එය තදාසන්න ප්‍රදේශ වලට පමණක් සිමා වුන රෝගයක් නොවේ . මෙවර වසංගත තත්වයේදී මුලින් ම එය රටේ කොළඹ , ගම්පහ , කුරුණෑගල , වැනි දිස්ත්‍රික්ක වල පමණක් දක්නට ලැබුනත් පසුව එය වෙනත් නගරබද ප්‍රදේශ කරාත් පසුව ඈත ගම් දනවු වෙතත් පැතිර ගිය අකාරයක් දක්නට ලැබුනි .

කාන්තාවන් සුන්නත් කිරීම ගැන

නොබෝදා මුස්ලිම් කණ්ඩායම් කිහිපයක් එකතුව රජයෙන් සිදු කරන ලද ඉල්ලීමක් නිසා කාන්තාවන් සුන්නත් කිරීම ගැන කතාබහක් හිටි හැටියේම කරලියට පැමිණියේ ය.

මේ රට මගෙ රට

" මේ රට මගෙ රට මා ඉපදුන රට හැදෙන වැඩෙන රට මගේම මවු රට" මට සාමාන්‍යයෙන් දේශාභිමානී ගී දිරවන්නෙ නෑ...