Skip to main content

මේවා මොන ජීවිත ද අප්පා


එදා ජෙහානුයි ප්‍රියන්තයයි පාන්දර හතර වෙනකම් රවුම් ගහ ගහ ඉඳලා

 "යමු නිදාගමු. මටත් හොඳ නින්දක් දාගන්න ඕනෙ" කියලා අන්තිමට ජෙහාන් කියපු
කතාවත් එක්ක කාලයක් තිස්සෙ හිතේ කැකෑරෙන ආසාවක් මතුවෙලා ආවා. එහෙම පාන්දර හතර වෙනකම් ඇහැරිලා ඉඳලා පහුවදා හොඳ නින්දක් දාගෙන රිෆ්‍රෙෂ් වුණ කාලයක් ගැන මතක් වුණා.. එහෙම හිත් පොජ්ජෙ තියන පොඩි පොඩි තැන් මන්දො කරලා ගන්නවට කූඹියන්ට හාට්ස්...

ඉස්සර ෆැකල්ටි ඉන්න කාලෙ -(ගොඩක් වෙලාවට ෆයිනල් හරි හතර වෙනි අවුරුද්දෙ හරි ) ගෙදර නොයන සති අන්තයක් කියන්නෙ මාරම රිලැක්සින්. දොලහට ක්ලිනිකල් ඉවර වෙලා එහෙමම කෝච්චියෙ හරි බස් එකේ හරි තෙරපි තෙරපි හවස පහ -හය වෙද්දි ගෙදර ගිහින් පහුවදා දොලහට එකට විතර ආපහු ගෙදරින් පිටත්වෙලා එන එක රිලැක්සින් නෙමේ ඩිප්‍රෙස් වෙන ෆීලින් එකක්. ඒ වගේද හොස්ටල් එකේ ඉන්න එක! ක්ලිනිකල් ඉවර කරලා එන ගමන් මහපොලෙන් අඩුම කුඩුම මොනවා හරි ටිකක් අරගෙන වීදුරු කඩෙන් හරි, ඇඹුලෙන් හරි , ඇමිකා එකෙන් හරි, කෑම එකකුත් අරන් හොස්ටල් එකට ඇවිත් කාමරේ තනියම කෑම එක ගිල දාලා හොඳ නින්දක් දාගන්න එක ඊට වඩා සැපයි. එදාට රෑට කන්නෙ පිටින්. වැඩිපුරම රයිස්. බෙන් එක, කාසල් එක, සොන් එක වගේ කඩේකින් කෑම ගෙන්න ගන්නෙ. කිතුලා සල්ලි එකතු කරනවා. ගුණයා එක්ක කවුරුහරි බයික් එකක කෑම ගේන්න යනවා. පාටි දාන්න බඩු ගේන්න වෙනම කවුරුහරි යනවා.  ඒ ගේන කෑම කාලා ෆිල්ම් එකක් එහෙම බලලා මුලු රෑම පාටි තමයි. ඒවා ඇදෙනවා පාන්දර තුන හතර වෙනකම්. කිසි ස්ට්‍රෙස් එකක් නෑ... හෙට ඉරිදනෙ. නිදා ගන්න යනකොට හොඳටම ආමාරුයි. ඔහොම නින්ද යනවා උදේ නවය දහය වෙනකම්. සැප නින්ද.. උදේ ඇහැරෙන වෙලාව වෙනකොට කැන්ටිමේ උදේ කෑම නෑ.. නාගෙන  දහයට විතර ගිහින් උණු උණු එලවලු රොටී දෙකක් හරි බිත්තර රෝල්ස් දෙකක් හරි එක්ක  ප්ලේන්ටියක් ගැහුවම සැප කනේ.. එහෙම ඇවිත් කලින් දවසෙ පෙඟෙන්න කියලා සබන් කුඩු දාපු රෙදි ටික හෝදලා රෙදි වැලේ කලින් වනපු උන්ගෙ රෙදි ටිකක් එහාට මෙහාට කරලා ඉඩක් පාදගෙන රෙදිටික වේලෙන්න දානවා. දාලා ඇවිත් ටීවී රූම් එකේ ටීවී බලන ගමන් ඉරිදා පත්තරේ කියවනවා.. ඒ ඉවර වෙනකොට ආයෙ දවල්ට කන වෙලාව. තනියම කන්න යන්න කම්මැලියි. කන්න යන්න කට්ටිය කවුරුහරි එකතු කරගන්න ඕනෙ. එහෙම අඬ ගහනකොට ෆිට් කාක්කො එනකම් බලන් ඉන්න උන් "බඩගිනි නෑ බං උඹ පලයන්" කියලා බොරු කියනවා. කොහොම හරි ඉන්න කවුරුහරි එක්ක සෙට් වෙලා  කැන්ටිමට යනවා. ගිහින් දවල් කෑම එකටත් වැඩිපුර බිත්තර රෝල් එකක් හරි කට්ලට්  එකක් හරි දාගෙන පෙප්සි එකකුත් එක්ක කන ගමන් කයියක් දානවා. කාලා ඉවර වෙලා පනහෙ ෆෝන් කාඩ් එකකුත් අරන් කිරිටොපියකුත් කකා ආපහු හොස්ටල් එකට යනවා. ගිහින් ආයෙ පොඩ්ඩක් පත්තරේ බලනවා. ඔන්න එකා දෙන්න කාක්කො එනවා. බඩගිනි නැතත්  සරු කාක්කෙක් ආවොත් පොරකකා ඒක කනවා. බඩ පිරුණම ගිහින් නිදා ගන්නවා. හතර පහ වෙද්දි ඇහැරෙනවා. ඒ ඇහැරෙනකොට තියන සනීපෙට කඳුලු එනවා. ආයෙ කාක්කො කීපදෙනෙක්ට වැඩේ දීලා හිතුනොත් ක්‍රිකට් පාරක් ගහලා, නැත්නම් බංකුවක් උඩට වෙලා හුළං වදින ගමන් කයියක් ගහනවා. එදාට රෑට කන්න බෑ. එච්චරට කාක්කන්ගෙන් බඩ පිරිලා. ඉරිදා රෑට තියන නිමල් අයියගෙ බත් එක කටේ තියන්නත් බෑ. ඉරිදට කස්ටිය කන්න එන්නෙ නෑ කියලා දන්න නිසා පොර සම්පත් නාස්ති කරගන්නෙ නෑ. ඉරිදා රෑ කියන්නෙ නිවී හිල්ලෙ ඉන්න පුලුවන් අමුතුම මුස්පේන්තු කාලසමයක්. ඒ සතියෙ කරපු පව් පින්, එන සතියෙ පෙරලෙන්න නියමිත බාල්දි, පවුල් ප්‍රශ්න, රටේ ලෝකෙ අර්ථික සමාජයීය භෞතික ආධ්‍යාත්මික ප්‍රශ්න කල්පනා කරන්න පුලුවන් වෙලාවක්. එන සතියට ලෑස්තිවෙන්න ඔක්කොම රිෆ්‍රෙෂ් කරගන්න අභ්‍යාසයක්.  කාමරේ පොඩ්ඩක් අස් කරලා , නාගෙන අර දවල් හෝදලා වේලපු , තාමත් අව් රස්නෙ නොගිය බෙඩ් ෂීට් එක ඇඳට එලාගෙන ඒකෙ වැටිලා ඉන්නකොට දැනෙන්නෙ දිව්‍ය ලෝකෙ සැප ඕයි. ඔහොම ඉන්නකොට දෙමාපියො අඹු දරුවො මතක් වෙනවා. පොඩි කෝල් එකල් දානවා.. මල් කඩලා ඉවර කරන්නේ අදවත් පාඩම් කරන්න ඕනෙ කියලා අවසර ඉල්ලගෙන. පොඩ්ඩක් පොතක් හෑන්ඩ් අවුට් එකක් බලන්න ට්‍රයි එකක් දීලා ඒකත් අතඇරලා ආයෙ ෆිල්ම් එකක් බලලා ෆෑන් එක පහට දාගෙන නිදා ගන්නවා. 

මේවා මතක් වෙනකොට ඇඬෙනවා. ඒ කාලෙ ගතකලේ මොන ජීවිතද! මැරෙන්න කලින් ආපහු විඳින්න කැමති එක්ස්පිරියන්ස් එකක් කියපන් කීවොත් මට කියන්න තියන එකක් තමා මේ හොස්ටල් එකේ සති අන්තය. මේවා මොන ජීවිත ද අප්පා.

(කාක්කන් යනු ගෙවල් වලට ගිය ලමෝ ආපසු එන විට තම සගයන්ටද ඇති වන ලෙස බැඳගෙන එන බත් මුල්ය. එවැනි බත් මුලක් ලිහන විට අනෙක් අයට අඬ ගැසීම සඳහා කාකයන්ගේ ශබ්දය හඬනගනු ලබයි. )

Comments

Popular posts from this blog

ලංකාවෙන් ඩෙංගු සදහටම තුරන් කරන්නේ මෙහෙමයි.

ඩෙංගු වසංගතය රටම වෙලාගෙන අවසන්ය . තව දුරටත් එය තදාසන්න ප්‍රදේශ වලට පමණක් සිමා වුන රෝගයක් නොවේ . මෙවර වසංගත තත්වයේදී මුලින් ම එය රටේ කොළඹ , ගම්පහ , කුරුණෑගල , වැනි දිස්ත්‍රික්ක වල පමණක් දක්නට ලැබුනත් පසුව එය වෙනත් නගරබද ප්‍රදේශ කරාත් පසුව ඈත ගම් දනවු වෙතත් පැතිර ගිය අකාරයක් දක්නට ලැබුනි .

කාන්තාවන් සුන්නත් කිරීම ගැන

නොබෝදා මුස්ලිම් කණ්ඩායම් කිහිපයක් එකතුව රජයෙන් සිදු කරන ලද ඉල්ලීමක් නිසා කාන්තාවන් සුන්නත් කිරීම ගැන කතාබහක් හිටි හැටියේම කරලියට පැමිණියේ ය.

මේ රට මගෙ රට

" මේ රට මගෙ රට මා ඉපදුන රට හැදෙන වැඩෙන රට මගේම මවු රට" මට සාමාන්‍යයෙන් දේශාභිමානී ගී දිරවන්නෙ නෑ...